Menu Close

තොරණ හෙවත් Pandol 2

තොරණෙ පලවෙනි දවසෙ එන සෙනග මදි වගේ කියල හිතුනොත් දෙවෙනි දවසෙම ‘ලයිස්පීකරකට්ටක්’ බැඳපු වෑංකට්ටක් අහලපහල ගංවල කෑගගහ ඇවිදිනව.
“අඤඤා ඤාඤ ඤා ඤඤඤඤ ඤඤඤාඤේ…………..
ඤාඤා ඤාඤ ඤඤ ඤඤඤඤ ඤඤ ඤාඤේ………….”


“ක්‍රාස් ටොහ් ටොහ් ටොහ්. දාදා දාදදදාදාදාදදා දාදාදාදා දාදා දදා දාදා දාදදදදා දාදාදාද”

උදේ ඉඳංම වාහනයක් යන්න පුළුවං හැම පාරකම කෑ ගගහ ඇවිදලා හොඳටම බැහැපු බැට්ටියකිං කරන්ටෙක ලෙවකන පීකර කට්ටට එයිට වැඩිය පැහැදිලියට යමක් කියාගන්න පුළුවංකමක් නෑ. ඒ වුනාට මේ අමුතු බාසාවෙං කෑ ගහන සද්දෙ ඇහුණ ගමං “ලයිස්පීකරයක් එනෝ” කියාගෙන පාරට දුවන අයට වෑංකට්ටෙ හොම්බෙයි පිටෙයි වටෙයි අලෝපු දැන්නීම්වල තියෙන විස්තර බලලා ‘මේ කියන්නෙ තොරණ ගැන තමා’ කියලා හිතාගන්න පුළුවං වෙනවා. කාරනාව සහසුද්දෙම්ම දැනගන්න හිතාගෙන පුංචම්මලෑ කඩේ ගාවදි විමලසේන මාමා පාරට පැනලා අත දාලා වෑං කට්ට නවත්තනවා.
“මොකද්දයියෙ එලවුස්සෙක”
ඩැයිබරගෙ පැත්තෙං වෑන්නෙක අස්සට තමුංගෙ ඔලුවයි උරිස් දෙකයි රිංගවන විමලසේන මාමා උදේ හිටං කියෝලා කියෝලා හකු ගෙවිලා, දිව දොට්ට ඇදිලා, මූණ රතුවෙලා, දාඩිය දාලා ඉන්න එලවුස් කරන මනුස්සයගෙං අහනවා.
“ඔය පස්සෙ දැන්නීමෙ තියෙන්නෙ බලනොවකො”
එයා විමලසේන මාමට කඩා පනිනව.
“දද දද්දෙ දද්දාදෙ දාද්දෙ දාදාදො”
පීකර කට්ටත් ගමටම ඇහෙන්න විමලසේන මාමාට බනිනව. ඒ අතරෙ අනික් අය ඇස් හීං කරගෙන වෑන් එකේ ඉස්සරහයි පිටිපස්සෙයි දෙපැත්තෙ වීදුරුවලයි අලවල තියෙන දැන්නීම් ටික කියෝනව.
“විසිතුරු මාතු පෝසක කතා වස්තුව රැගත් මහා තොරං රාජෙයා… මෙම මස දාහතර වැන්දා සිට … විසියෙක වැන්දා තෙක් පෙදර්සනය කෙරේ.”
මේ කියවිල්ලට වෑන්නෙකේ ඩයිබරට කේන්ති යනව. එයා වෑන්නෙකේ ඇංජිම හයියෙං රේස් කරනව.
“ඕයි ඉස්සරහිං අහට්ට වෙනවකො. අපි යන්නෙ තමිසෙලෑ බඩවල්ලුඩිංද? තමිසෙලා සේරම මේක කියෝනකං හිටියොත් අපිට යන්න වෙන්න අනිහ් සුමානෙ තමයි.”
වෑන්නෙක ඉස්සරහිං හිටපු අය පරාණ බයේ අහකට වෙනව. වෑන්නෙකේ පිටිපස්සෙං හිටපු අයත් දුම් පාරට අහකට විසි වෙනව. තොරණ බලන්න එන්න ඉන්න සෙනගෙං තවත් හතර පස් දෙනෙක්ටවත් බනින්න හිතාගෙන වෑන්නෙක කැහැ කැහැ තවත් ගමකට යනව. ඒ අතරෙ හැමෝම එක්කහු වෙලා වෑංකාරයටයි එලවුස් කරන කෙනාටයි බයිනව.


“යකෝ පිං අතේ වැඩක් කරද්දිවත් මෙවුංගෙ කටේ සවුදම අඩු නැති හැටි.”

“යන්ට නාකයි ඕක බලන්න”

“මග හිටියත් තල්ලුවක්කත් දෙන්න නාකයි”


*******************************************************************************

දවසක් දෙකක් යද්දි වෙනදා අහල නැති නලා සද්ද එහෙම අහල පහල ගෙවල්වලිං ඇහෙනව. සුදුවා එහෙමත් ගමං බිමං යද්දි වතුර විදින තුවක්කුවකිං අහල පහල ගස්වලට විදගෙන යනව. ඒවා දකිද්දි මට ඉවසං ඉන්න අමාරු වෙනව. මං අම්මත් එක්ක රණ්ඩුව පටං ගන්නව.
“අම්මෙයංකො”


“කොහෙද බොල”

“තොර්න බලන්නයංකො”

“හිටහං වියසල. ඕක මොකෙක්කක් කන්නෑ.”

ඒ වැඩේ හරියන්නැති පාර මං මිදුලට බැහැලා ටිකක් දුරට වෙලා වැඩ පටං ගන්නව

“ඔල්ල වල්ලල්ලෑ තොලල ලැතිවුලොත්තේව ඒ….ඒ…..ඒ…. හිඥුම්……………..
  වංකීඤෝ ඉග්ගෝලෙ විස්ත වා එවුග් වාව තොලල වලල්ල එග්ග ගියෙලෑ ගියාලා…. ආ….. ආ……..
  ඔල්ල වල්ලල්ලෑ තොලල ලැතිවුලොත්තේව උවල තොලලග් අදා දීයව්වත….ආ…..ආ…..ආ….හග්”

මේ අන්තිම හග් එක ඇතිවෙන්නෙ කොන්ද හරහ වදින කොහුමිටි පාරත් එක්ක. මං අම්මගෙ කොහුමිටි පාරවල් ටික ඉතුරු කරන්න හිතාගෙන පණ බේරගෙන දුවනව. අම්මට අහු නොවෙන්න චන්දරෙ මාමගෙ කුඹුරෙ පිටවේල්ල ගාවට කිට්ටු කරාට පස්සෙ තව ටිකක් හයියෙං ප්‍රසිද්ධ නිවේදනයක්ම නිකුත් කරන්න මට පුළුවං වෙනව.
“අෆේ වහ එවුල්ලෙල්ලව වහ ලෝවෙයො. ලවයිව්ව තොලලග් වලල්ලවහ් එග්ග යල්ලෑ…..ඈ…… ඈ……”


මේ වගේ වෙලාවට මගෙ පින තිබ්බොත් චන්දරෙ මාමලෑ නැන්දා නෝනක්කව එවලා මාව එහෙට අරං යනව. ටික වෙලාවකිං නෝනක්කගෙ ආරස්සාව යටතෙ මාව ගෙදර එවනව. නැත්තං අපෙ අම්මා ඊළඟට මට තලන්නෙ කරාබු කෝට්ටකිං.

ඔය විදිහට දවස් ගානක් පන එපා කියල කෝලහල කලාට පස්සෙ අපේ අම්මා අහල පහල අයත් එක්ක තොරන බලන්න යන්න ලැහැත්ති කරගන්නව. හැමෝම එකට යමු කියල හිතාගෙන හිටියට අන්තිමට බැලුවහම අනික් හැමෝම එයිට දවස් දෙක තුනකට කලින් තොරණ බලන්න ගිහිං. ඉතුරුවෙලා ඉන්න අය එක්කහු වෙලා ඒ ගොල්ලන්ට දොස් කියනව.
“අපිට නිකමටවක් මතක්කොලේ නෑ. ආයිනං ගමනක් යන්න ඒගොල්ල එක්ක කතාවෙන්නෑ”



තොරණ ඉවර වෙන්න දවසක් කලිං දවසක හැන්දෑවකට ගමන තීන්දු වෙනව. එදා උදේ ඉඳලම මගෙං කිසිම වැඩක් කෙරෙන්නෑ. කොටිම්ම ඉස්කෝලෙ යන්නෙත් නෑ. ඉස්කෝලෙ ගියෙ නෑ කියල අපේ ගෙදරිං විරුද්දවෙන්නෙත් නෑ. ඒ හංදා උදේට කාපු වෙලාවෙ ඉඳල මගෙ වැඩේ වෙලාව බලන එක. ඒ අතරම සැරිං සැරේ අම්මට කංකෙඳිරිගාන එක.

“දැයියංකො අම්මෙ. නැහ්නං රෑවෙයි”
“මේ ගිණිකූටක අව්වෙ මොන තොරනද්ද බොල”
අම්මා මට පොල්බෑය උරුක් කරනව. ඔය විදිහට හැන්දෑ වෙනකම්ම මං එක එක විදිහට අම්මට කංකෙඳිරිගෑමත් අම්මා ඒ ඒ වෙලාවට කරන වැඩේ හැටියට අතේ තියෙන උපකරණ උරුක් කරලා මට තර්ජනේ කිරීමත් කරදරේ ඉවරයක්ම නැත්තං මාව කෙටිදුරක් එලෝගෙන යන එකත් සිද්දවෙනව. ඒ හංදා හවස් වෙත්දි මට අම්ම ඉන්න කිට්ටුවකටවත් යන්න අමාරුයි. අපේ අම්මගෙ ලැහැත්තිය පටං ගැනෙන්නෙ එහාපැත්තෙ කංදෙං ඇහෙන චන්දරෙ මාමලෑ ගෙදර නෝනක්කගෙ කෑගැහිල්ලත් එක්ක

“දයා නැංදේ…….”
එව්වට උත්තර දෙන්න ඕන ගෙදර ඉන්න ළමය වසයෙං මං

“ඕ…….”


“අපි නං ලැහැත්ති වෙනවා.”


“හා… අපිත් ලැහැත්තිවෙන්න”


“හා…..”


“හා…..”
මෙච්චර වෙලා ඒ ගැන වගේ වගක් නැතුව හිටපු අම්මා එක පාරටම වඩිග පටුන නටන්න පටං ගන්නව.
“තොට මං කීවලියක් කිව්වද ලැහැත්ති විය කියල. ලැහැත්ති වැනිං විජානියට”


මං තොරන බලන්න යන්න බෑ කිව්ව වගේ අම්ම මට කඩං පනිනව.
“ඉතිං මං කිව්වෙ.”


“තෝ කිය කිය හිටියා මිසක් ලැහැත්තිඋනායැ.”


“මූනෝදං ඇහිල්ල ලැහැත්තිවිය. කාහං බට්ටිකක්. ආයි එහෙ ගිහිං බක්කන්න නෑ.”


අන්තිමට දොලට නොයා පිටවේල්ලෙං දත මැදල මූණ හෝදගෙන ගෙදෙට්ට එනකොට අම්මත් මගෙ බුරුසුව ඇදල අරගෙන මට බත් පිඟානක් දෙනව. 
“විජානියට කාහං”


අම්ම මගෙ බුරුසුවෙං දත් මදින අතරෙ මං බත් අහුරු දෙක තුනක් ගිලලා ඉතුරු ටික හෙලපල්ලට විසි කරනව. තව විනාඩි දහයක් පහලොවක් යද්දි අපි දෙන්න ලැහැත්තිවෙලා මූණ පුරා පවුඩර් තට්ටුවකුත් ඔලුව පුරා තෙල් තට්ටුවකුත් ගාගන්නව. අම්ම මගෙ පැන්සලකුයි කොපි පොතේ මැද පිටුවයි කඩාගෙන ලියුමක් ලියනව.

බොලේ අපි තොරන බලන්න යනව. 
චන්දරේ මල්ලිලෑ ගෙදර අෑය එක්ක. 
යතුර ගලයට. තමිසෙත් බත් කාලා එනවා.

                                                                   මීට **වතී
අපි කුස්සිය පැත්තෙං දොර වහලා දෙහි ගහ යට ගල් ගෙඩ්ඩ යටිං යතුර තියලා ලියමන කෝට්ටක උලගහල දොරේ අමුණල තියල දොට්ට බහිනව. නැන්දත් අපේ මිදුලට ගොඩවෙනව. ඒ පිටිපස්සෙං ආච්චි අම්මත් දනිස්සට අත්දෙක තියාගෙන හතිදාගෙන කන්ද නගිනව. අපි දෙන්නව විතරක් දැක්කම ආච්චම්මට හිතට හොඳ මදි.
“කෝ ලොකු ළමෙය යන්නැද්ද?”


“ඒ මිනිහ එනව නැතෑ.  කෝ මැණිකො සූටි”


“ඌ එනකං ඩිංගක් හිල්ල වරෙල්ල.”


“ඒකි එක්ක ගිහිං බෑ. සෙල්ලම්බඩු ඉල්ලනව. මං බොරුවක් කියල තියල ආවෙ”


“පොඩි එකෙක්යැ නැංදම්මෙ. එන වෙලේක එන්නැතෑ”


අපි හතර දෙනා ආයිමත් අපේ මිදුලෙ ඉඳං කන්ද උඩට නගින්න පටං ගන්නව. ඒ අතරෙ චන්දරෙ මාමලෑ කුඹුර මැදිං අඩිපාර දිගේ චන්දරෙ මාමලෑ ගෙදර නෝනක්කයි, අයියයි, නැංදවයි ඉස්සර කරගෙන, අපේ ඉංග්‍රීසි පොත තරං උසට සරමත් ඇඳගෙන ඒ පිටිපස්සෙං චන්දරෙ මාමත් එනව. අපි හතරදෙනා අරුම පුදුම විදිහට පේලියට ගමනක් යනව දකින පාරෙ ඉන්න කලු බල්ලා අපිව ඉව කරන්න ඇවිත් ආච්චි අම්මගෙං කුඩ පාරක් කනව
“ජී….ග් ගේ…රි බලු නරකාදිය…. ජී….”
අපේ ගෙවල් පහුකරල එක වංගුවක් උඩහට ගිය ගමං චන්දරෙ මාමලගෙ ගෙදර අය අපි එනකං බලං ඉන්නව පේනව. අපිත් එතන්ට ආපු ගමං අපි හැමෝම කතාව පටං ගන්නව.

“කෝ නංගියෙ චූටි”

“කෝ සෝම්පාලයිය යන්නැද්ද”

“ඒකිව ගෙදර තියල ආව.”

“චූටි දන්නැද්ද තොරන බලන්න යනව කියල”

“මුංගෙ තාත්ත එයි නංගියෙ සෑ වෙලා”

“පීසේන මල්ලිට එහෙම කන්න ඉව්වද?”

“කඩේ දෝනි එහෙම ඊයෙ ගියාලු.”

“කරුම්මාමා ඕබන්නෙකක් අරං දුන්නලු”

“දවල් උයපුව ඇති”

“අපෙ තාත්ත මටත් එකක් අරංදෙනව කිව්ව”

“බස් තියෙයිද මංද”

“මට විතරයි අරංදෙනව කිව්වෙ”

“නෑ. තාත්ත අරං දෙනව කිව්වෙ මට”

“බස් තියෙයි හැබැයි සෙනග හිටියි සූ ගාල”

“ඇයි තාත්තෙ සෙනග සූ ගාන්නෙ”

“අම්මෙ මටත් ඕබන්නෙකක් ඇරං ඕනි”

“මිනිස්සු සූ ගාන්නෑ ළමයො. සෙනග ගොඩක් ඉන්නව කියන එකයි සූගානව කියන්නෙ”

“තෝ එකේක ජාති ඉල්ලන්න ලැහැත්ති වෙනව නං දැම්ම කියහං තෝවත් ගෙදර ගිහිං දාතියල එන්න”
ඔය විදිහට කයිවාරු කියෝ කියෝ නිකෝඩහන්දියට කිට්ටු වෙද්දි එතන පන්සලේ මරණාදාර රැස්වීමට තරං සෙනගක් එක්කහුවෙලා බස් එනකං බලා ඉන්නව. අපිව දැකල එතන ඉන්න අය හූල්ලනව.
“තව කට්ටිය එනව.”

“බස් පනහක් තිවුණත් මදිවෙයි”
අපේ කාණ්ඩෙත්
“සෑහෙන සෙනගක්නෙ”

“බස්සෙකක් නෙමෙයි කෝච්චියක් තිබ්බත් මදි”

“කෝච්චිත් පාරෙ යනවද තාත්තෙ”

“පයිං තමා යන්න වෙන්නෙ”
වගේ ඒවා කියල ඒ සෙනග ගොඩටම එක්කහු වෙනව. ඉං පස්සෙ එතන ඉන්න අයත් එක්කත් අර විදිහටම කියෝනව. එහෙම කියෝල කියවන්න දෙයක් නැතිවුනහම බස්කාරයින්ට බයිනව.

“මේ යකඩ කැටි එකක්කත් ඕනි වෙලාවට නෑනෙ”

“දැන්නීමෙ තිවුනෙ රාත්රීය පුරාවට බස්සේවා කියාත්මකයි කියල”

“ඩිපෝ එකේ උං වැඩකරන්නෙ උන්ට ඕන හැටියටනෙ”

“උං බස් ගෙදර ගිනියනවනෙ”
ඒ අතරෙ කන්ද නැගගෙන එන බස්සෙහෙක සද්දෙට මිනිස්සු හැමෝම ඒ පැත්ත බලං ඉන්නව. ටික වෙලාවකිං රෝද බඩේ ගෑවෙන්නම පාත් වෙච්චි ලොරියක් වංගුවෙං මතුවෙනව. මිනිස්සු ඒක දැකලත් බයිනව.

“නිදකිං ලොරි දණ්ඩක්නෙ”

“මං හිතුවෙ බස්සෙකක් කියල”
ලොරිය අපිව පහුකරගෙන යද්දි හැමෝම ලොරිය දිහා කන්න වගේ බලනව. ලොරිය එලෝන එක්කෙනත් ඒ වගේම සෙනග දිහා බලනව. සෙනග ආයිමත් චර බර ගගා කතාව පටං ගන්නව. ඒ අතරෙ එතනිං යන ටීවිල් එහෙම සෙනග පහුකරගෙන ගිහිං නවත්තනව. එහෙම කරල සෙනග ගොඩේ ඉන්න තමුං අඳුරන කෙනාට විතරක් කතා කරනව. එතකොට එයා විතරක් ගිහිං තීවිල්ලෙකට නගිනව. ඉං පස්සෙ සෙනග එක්කහු වෙලා එයාට බනිනව.
“තව ඕන්තරං ඉඩ තිවුනා.”

“මේ බැරි අමාරුකාරයෙක් දාං ගියානං මොකද”

මේ අතරෙ තනියම තොරණ බලන්න යන පුබ්බයිසිකල්කාරයොත් ඉන්නව. ඒගොල්ලත් සෙනග ගාවිං නවත්තල තමුං අඳුරන කෙනෙක් හිටියොත් බයිසිකලේ පොල්ලෙ නග්ගගෙන එක්කං යනව. එතකොට මිනිස්සු තීවිල්ලෙකේ ගිය කෙනා අතෑරලා බයිසිකලේ පොල්ලෙ ගිය කෙනාට බයිනව. 

%d bloggers like this: