Menu Close

තොරණ හෙවත් pandol – 1

“මේ ගමන වෙදමහත්තෙයෑ තොරන ගහන්නැහ්ලුද?”

කටත් ඇද කරගෙන පුවක් ගෙඩියක් කපන අපේ ආතා ඉස්තෝප්පුවෙ ඉඳං ඉන්න නිමල් අයියගෙං අහනව.

“ගහයි ගහයිඊඊ. ඔයියකා ඕක නොගහ ඉන්නෑ ආතෙ”

“තව ඉතිං මාසෙයක් හමාරකට වැඩිය නෑනෙවැ.”

“ඒ මදෑ මිනිහා ඕක කොහොම හරි දවුඩලා අටෝල ගනියි ආතෙ. පුවක් කොට ටික හිටෝ ගත්තං පස්සෙ තොරං කෑලි ටික අමුල්ලා බලුප් ටික ඒක වටේට උලගහන එකනෙ තියෙන්නෙ”

“ගිය වංගියෙනං රූප කෑලි විසිගානක් තිවුන මාහිතේ.”


“ඔව් මාහිතේ විසි දෙකද්ද කොහෙද?”

“බලුපුත් දාස් ගානක් තිවුන කියල අපේ පුතා එහෙම කිව්වෙ”

“එහෙනං ඉතිං. එකට එකක් හේත්තු වෙන්නම බලුප් එපෑ”

මේ වෙලාවට ගුනවද්දන මාමට කට වහගෙන ඉන්න අමාරුයි.

“චෑ……. මේ වෙදා ගහන තොරන නං කිසියම්ම කිසි කමකට නෑ. බලුප් උනත් බාගෙට බාගෙයක්ම පත්තු වෙන්නෑ. ආං ඒ වගේද කහවත්තෙ තොර්න.”

තමුංගෙ තාත්තා නලාව පිඹින හැටියට නයා පෙට්ටියෙං එලියට එන්න මහ වෙලාවක් නොඑන බව දැනිලා නිමල් අයියා ඉඳං හිටි තැනිං නැගිටලා කඩේ ඉස්තෝප්පුව පැත්තට යනවා.

“හැබ්බෑට…..”

අපේ ආතා ගුනවද්දන මාමට සපෝට් එකක් දෙනව. මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී.

“එහෙනං මාමෙ. ගුරුගේ මුදලාලිගෙ තොර්න තමයි තොර්න. මා හිතේ කොළඹවහ්නෑ ඒ සා විසාල තොරනක්.”

“අනිච්චං”

“ඔවූ… දැං මේ වෙදෑ තොරනෙ පුවක් කොට හතර පහකින්නෙ එක්කොම රඳා හිටින්නෙ. අරකෙ හිටවන්නෙ මයෙ මේ කකුලක් තරං හිටී එක්කොම යකඩ කඳං. එක කඳ හිටී මේ හරියෙ අර පාරෙනුත් එහා පැත්තෙ තරම දිගට”

ආතා සරමෙ ඔඩොක්කුවෙ තියෙන පුවක් ලෙලි ටිකයි කුරුටු ටිකයි දොරකඩ රඹුටං ගහ මුලට හලනව.

“කොටිම්ම බුද්ද පිලිමෙ හිටී කලවම්පංසලේ විහාර ගෙයි පිලිමෙ ඉතර. ඉතිං හිතාගන්නකො තොරනෙ රයිස්සෙක”

“ආ…………”

“මං අර එක වංගියක් අපේ දූලෑ ගෙදර හිද්දි දූලෑ වදේ බැරිකමට ගියා කාරෙකෙං කහවත්තෙ තොර්න බලන්න. මං ඉස්සරහ සීට්ටෙකේ ගියෙ. මා හිතේ කහවත්තට හැතැක්මක් තරම දුර තියා තොරනෙ මුදුනෙ බුද්ද රූපෙ පේනව.”

“අනිච්චං අප්පෙයි”


“ඒකට ගේන ලැයිට් ඇංජිම හිටී මේ ගේ ඉතර. බලුප් නං ඇති ලස්ස ගානක්.”


“ඇත්තට……..”

“තොර්න කිට්ටුවට ගිහිං නං ඒක බලන්න බෑ මාමෙ. බෙල්ල උලුක්කු වෙනව. මේ හරියෙ තොර්න තියේ නං පීටර ලෑ ගෙවල් හරියෙ ඉතර ඉඳං බැලුවං තමයි හරියාකාරව පේන්නෙ.”


“ඒ තරං විසාලෙට හිටීද?”

“නැහ්නං මාමෙ. ඔය මනුස්සයනෙ මා හිතේ ලංකාවටම කෝටිපතිය.”


මේ කතාවෙන තොරණ උප්පත්තිය ලබන හැටි බලන්න සෙනසුරාදා පොල දවස වෙනකං ඉන්න වෙනව. සෙනසුරාදා පොලට ගිහිං එක අතක බඩු මල්ලක් අරගෙන අනික් අතිං නංගිව කිහිල්ලෙ උලගහගෙන පොලෙං එලියට එන අම්මගෙ පස්සෙං තවත් බඩු මල්ලක් අරගෙන අනික් අතේ තියෙන කවරෙ තියෙන බොම්බයි මොටයි ටික බඩට පුරෝන ගමං මාත් බස් ඉස්ටෑන්ඩෙක දිහාවට එනව. ඒ එන ගමං වටපිට බලනකොට බස් ඉස්ටෑන්ඩෙකේ කෙරෝලකට වෙන්න හිටෝපු උස පුවක් ගස් දෙක තුනකුත් ඒවයිං උසම එකේ මුදුනෙ හයිකරපු බෞද්ධ කොඩියකුත් මට පේන්න තියෙනවා. ඒ එක්කම කහපාට ඉටි රෙද්දක ඇඳපු දැන්වීමකුත් කොහු ලනු පොටවල් හතරකිං ඒ පුවක් ගස්වල ගැටගහලා තියෙනවා.

මේ දැන්වීම කියවන්නයි පුවක් කොට ගාන ගැනගන්නයි මට අතේ තියෙන කවරෙං බොම්බයි මොටයි කෑම නවත්තලා විනාඩියක් විතර බලං ඉන්න වෙනවා. ඒ අතරෙ,


“කොලුවෝ.. ළමෙයෝ…. යකෝ… බූරුවෝ… හකරෝ…. ගල්බිල්ල වගේ බලා ඉන්නෙ…. මෙහෙවර…. තෝ මොකද්ද ඔය කොරන්නේ”

ආදී වසයෙං මට කියන සේරම නංවලිං අඩගහන්න අම්මට සිද්ද වෙනවා. මුලු බස් ඉස්ටෑන්ඩෙකේම ඉන්න මිනිස්සු මේ නං බර ගානකිං හැදින්වෙන අරුම පුදුම ලමයා දිහාත්, ඒ ළමයව දක්කන අම්මා දිහාත් බලනවා. අන්තිමට මාව‍ හරි සිහියට ගන්න බඩුමල්ලයි නංගිවයි දෙන්නම අරගෙන ආපහු ඇහිල්ලා මගෙ දනිස්සට පයිං එකක් ගහන්න අපෙ අම්මට සිද්ද වෙනවා.

පහුවදා හවස ආතගෙයි ගුනවද්දන මාමගෙයි කෙබර මඩුව මැද්දට ඒ විස්තරේ අතාරින්න මට පුළුවං වෙනව.


“ආතේ අන්න තොරණ ගහනව කියල පුවක් කොටං ටිකක් හිටෝල තීනව ඉස්ටෑන්ඩෙක ගාව අයිනෙ”

“උඹ කොහොමද්දන්නෙ”

” මං දැක්කනෙ පුවක් ගස් දොලහද්ද කොහෙද හිටෝල තීනව. ඒකෙ හුගක්ම උස පුවග්ගහේ මුදුනෙ බවුද්ද කොඩියක් ගහලත් තීනව. ආයි ඉටිකොලේක ලියපු දැන්නීමකුත් තියෙනව. මේ යසවර්දන ඉලෙක්ටිකල් කියල කෙනෙක්ලුනෙ තොරණ හදන්නෙ. වෙදෙක් නෙමෙයි”


“යසවර්දන කියන්නෙ වෙද මහත්තෙය තමා. ඒ මිනිහ ඇර වෙන කවුද තොරං ගැහිල්ල දන්නෙ වෙන”


“එයා වෙදකං කොරන සල්ලි ඔලින්ද ආතෙ තොරං හදන්නෙ?”


“ඒ යකාට වෙද මහත්තයා කිව්වට මිනිහ දන්න වෙදකමක් නෑ. ගෙවල් වෑල්ඩිං කොරන එකනෙ මිනිහෑ රස්සාව”


“එහෙනං ආතෙ එයාට වෙද මහත්තය කියන්නෙ?”

“ඒක උඹ ගිහිං ඒ මිනිහෑංම අහපං.”

ආතා මාව එලෝගන්නව. ඒ වුනාට සතියක් ගානෙ පොලේ යන ගමනුත් ඒ අතරෙ සමහර දවස්වලට අම්මටයි, නංගිටයි, මටයි සැරිං සැරේට කැස්සටයි ඇදීමටයි බෙහෙත් ගේන්න යන ගමනුත් මං තොරණෙ විස්තර ගෙනැත් ආතගෙ කනේ තියනව.


“දැං හරහටත් ලීත් බැඳල ප්‍රස්තාරෙයක් වගේ”


“පිටිපස්සෙනුත් කනු හිටෝලා දෙපැත්තටම ලී බැදලා. මිනිස්සු ඒවෑ නැගල වැඩ.”


“මුදුනෙම්ම බුද්දරූපෙයක් එල්ලලා. ඒක සුදු රෙද්දකිං වහලා. යට හරියෙ කකුල් දෙක ඉතරක් පේනව”


“එක පින්තූරෙයක් එල්ලලා. ඒකෙ කොණ්ඩෙ බැදපු මිනිහෙක් වතුරෙ පීනනව. සාරියක් රෙද්ද වගේ ඇඳලා බොඩියකුත් ඇදපු ගෑනියෙක් ඒ මිනිහෑ පිටේ නැගල ඉන්නව”


“තොරං ඔල එහෙම පින්තූර එල්ලන්නෑ. බොරු නොකිය පල යන්න”

ආතා මාව එලෝනව. ඒ වුනාට මං ඊළග සතියෙත් වාර්තාව අරං එනව.

“තොරණෙ පින්තූර එල්ලල ඉවරයි. දැං බලුප් හයි කරනව.”

“බලුප් හයිකරල වියරයි. දැං මිනිස්සු වැඩ කරන්නෙ තොරනෙ පිටිපස්සෙ. ඒ පැත්ත පලාතට අනික් ඈට යන්න දෙන්නෑ.”

තොරණ හදල ඉවරවෙලා තවත් දවස්ගානක් යනකං ඒ මිනිස්සු තොරණ පිටිපස්සෙ වැඩ කරනවා. මේ අතරෙ පොල පිටිපස්සෙ පොලට එන ලොරි නවත්තන පිට්ටනිය වගේ ටිකේ තව මිනිස්සු වගයක් දිග ලැලි වගයක් එකට එක හේත්තුවෙන්න රවුමට තියලා තවත් මොකද්ද එකක් හදනවා. මං ඒ විස්තරෙත් ගෙදර ඇවිල්ල ආතට කියනව.

“ආතෙ අර පොලේ සිරිපාල ආතෑ ලොරිය එහෙම නවත්තල තියන හරියෙ මිනිස්සු කට්ටියක් එක්කහු වෙලා දිග ලැලි ටිකක් වටේට හිටෝල ඉස්පංචියක් වගේ එකක් හදනොව.“


“මොන ඉස්පංචියද්දැ“

“අර රැලි රැලි තියෙන කොලෙයක් අලෝපු ජාතියක් තියෙන්නෙ. නිකෝඩහන්දියෙ දරුමසේන මාමෑ කඩෙත් තියෙන්නෙ. අර මිනිස්සු කහට බොද්දි එහෙම කන්නෙ. ආං ඒ වගේ විසාල එකක් අතන හදන්නෙ. සෑහෙන දිග ලැලි ඔලිං. අපේ ගෙදර කුස්සියෙ දොරේ ලැලි වගේ හත්තට සැරෙයක් දිගයි එයිං එක ලැල්ලක්“


“අනේ මට තේරෙනේකහ්නෑ උඹේ ඔය කියුං“


ආත මාව අහක දානව.

තොරණ පටං ගන්න තව දවස් දෙක තුනක් තියලා ටවුමෙ වහල දාලා තියෙන කඩ දෙකක් ඉස්සරහ ඉටිකොළවල ලියපු දැන්නීම් දෙකක් තියෙනවා.


අඟහරු ලෝකෙන් පැමිණි කුරුමිට්ටන්ගේ සංදර්ශනය
ජුලි මස 12, 13, 14, 15 සහ 16 දින මෙම ස්ථානයේදී පැවැත්වේ

අනික් කඩේ ඉස්සරහ තව රෙද්දක ලියපු දැන්නීමක් තියෙනව. ඒ දැන්නීම ලස්සන වෙන්න තරු, මල් එහෙමත් ඇඳලා.

ඉන්ද්‍රජාල මැජික් බලයෙන් 
අත පය, කඳ නොමැති හිසක් කතා කරයි.
ජුලි මස 12, 13, 14, 15 සහ 16 දින මෙම ස්ථානයේදී පැවැත්වේ

මේ විස්තරත් ආතට නොකියා ඉන්න එක හරි නෑ. ඒ හංදා ආතා හැන්දෑ වරුවෙ ඇඳ උඩට වෙලා සැරිං සැරේ හෝන් ගහන ගමං නිදාගෙන ඉන්න වෙලාවට මං ආතව ඇහැරෝනව.

“ආතෙ ආතෙ… මේ ගමන තොරං දවසට අඟහරු ලෝකෙං කුරුමිට්ටොත් එනවලු.”


“අනෙප්පලයං යන්න කෙබර නොකිය”


“බොරු නෙමෙයි. අර පැසං සුනිල් මාමෑ කඩේට එහාපැත්තෙ ජෑටිං මාමෑ කඩේ තිවුණ තැනට ගෙන්නනව කියන්නෙ. දැම්මම බෝඩ් හිටං ගහල”


“අඟහරු ලෝකෙං කොහොමද බං කුරුමිට්ටො ගේන්නෙ. යංතං හඳට යන්නප්පුලුවං ඇමරි කං කාරයන්ට ඉතරයි.”


“ආයි ඒ ඉස්සරහම හොරණ කඩේ ඔලුවක් කතා කොරනව පෙන්නනවලු.”


“ඔලුවෙං මිසක් ඉතිං *** කතා කොරන්නයැ.”


“අත පය, කඳ කෑලි නැති මිනිහෙක්ගෙ ඔලුවක් ඉතරක්නෙ කතා කොන්නොව කියන්නෙ”


“නාවලවත්තෙ කට්ටඩි ළමයෑ තාත්තනං මිනී ඔලු කතා කෙරෙව්ව ඉස්සර. ඔතනත් එහෙනං එහෙම වෙන්නැති. පළෙයං යන්න මට ඩිංගක් ඇහැ පියාගන්න දීල”


ආත මාව ආයිමත් එලෝනව.

*******************************************************************************

ලොකු අය කවුරුවත් තොරණ බලන්න යන්න කැමකි බවක් පෙන්නන්නෑ. හැමෝම ඒක පටවන්නෙ පොඩි ළමයින්ට.

“මුංගෙං කරදරේ බේරිල්ලක් නෑ. පස්සෙ මුංගෙ මහ එකා කිව්වා අන්තිම දාසට යං කියල”

චන්දරෙ මාමලෑ නැංදා අපේ අම්ම එක්ක දොලේදි කියනව.

“ඒක තමා, මේ මූටත් යන්නම ඕනි කියල නහින්න හදනොව. පස්සෙ මුංගෙ තාත්ත දුන්න දෙකක් වේවැලෙං. දැන්නං මීක් කියන්නෑ”

අපේ අම්මත් කියනව. ඒ කියන ගමංම තොරණ බලන්න යන දවස් ගැනත් කතාවෙනව.

“අන්තිම දාසට ඉස්සෙල්ල දාසෙ යං අක්කෙ. අන්තිම දාසට සෙනග වැඩියි.”


“ඔව්වොව්. මුලිම්මුලිං දවස්සොල බලුප් එක්කොම පත්තු කොරන්නැහ්ලු.”


ඔය විදිහට කතා කරගෙන අහලපහල ගෙවල් තුන හතරක අය එක්කහු කරගෙන අපේ ගං මණ්ඩියෙ හැමෝම එක දවසෙං තොරණ බලන්න යන්න කතාවෙනව.

%d bloggers like this: