Menu Close

කෙල්ලො පස්සෙං යාම හෙවත් following girls

“අපි ඉතිං ජීවිත කාලෙම මාන්සිවෙන්නෙ ළමයින්ගෙ දෑස පාදන්න තමයි.”
ළමයිංගෙ දෑස් පාදන එක මෝය කට මැද්දෙ පොල්වලක් කපනව තරං අමාරු බවක් පෙන්නන ගමං හුඟක් ගුරුවරු ගුරුවරියො එහෙම කියනව මට ඇහිල තියෙනව. ඒ වුනාට ඒක අමූලික අසත්තක ටොං පචයක් බවට තේරුං ගන්න අපට මහ කාලයක් ගියෙ නෑ. කක්කුස්සි වලකට උඩිං කොන්ක්‍රීට්ටෙක දැම්ම වගේ අපේ දෑස් වහල තිවුණු අන්ධකාරෙං අපිව මුදෝලා අපේ දෑස් පෑදුවෙ අපේ බට්ටා. මාසයක්වත් නොතිබිච්චි බ්‍රොයිලර් වර්ගයෙ ලව් එහෙකිං පස්සෙ ලව්වෙකක් කරලා නවත්තපු අයියෙක් තත්වෙට ආපු බට්ටව දැක්කම අපේ ඇසුත් ඇරුණා. පහේ පන්තියෙ එකෙක් තරං පෙනුම ඇති බට්ටටත් කෙල්ලෙක් කැමති උණානං අපි තවදුරටත් පරක්කු වැඩි නැද්ද කියලා අපිට හිතුනා. ඒ හංදා අපි දෙකට නැමිලා බෙල්ල හරෝලා අපේ දිහාම බලලා “ඇයි අපි කලුද” කියලා හිතුවා. අන්න එතකොට අපේ ඇස් ඇරුණා.
“නෙදකිං”
අපේ ඔලුගෙඩි සේරම එක වල්ලෙ පොල් වගේ. සේරම කපුටු කූඩු. හැබැයි බුතලයගෙ කොන්ඩෙ වෙනම විදිහක්. උගෙ කොණ්ඩෙ විතරක් පැත්තෙං බැලුවහම සින්බෑඩ්ගෙ වගේ. අපේ කොණ්ඩෙ ඔලුව වටේට ගොයං කොලයක් වගේ තියෙද්දි බුතලයගෙ කොණ්ඩෙ ඉස්සරහිං උඩට නමල ආපස්සට අරං කොන්ක්‍රීට් දැම්ම වගේ ගල්ගැහිල හිටින්න හදල. අපි වලහැඩි වගේ ඉඳිද්දි ඌ විතරක් අපිට ද්‍රෝහි වෙලා කියල අපිට තේරුණා. අපි වහාම ඒ වරද හරිගස්සගන්න හිතුවා.

මෙතන ගොයං කොල දෙකක්ම තියෙනවා

අපි වෙනදට කොණ්ඩෙ කපනව කියන එකෙන් අදහස කලේ ගමේ තියෙන බාබර සාප්පුවෙ හංකඩ කතුරෙං කොණ්ඩෙ අල්ලලා උගුල්ලවගන්න එක. පන්සල ගාව බාබර සාප්පුවෙ සිරිල් කොණ්ඩෙ කපන ක්‍රමේට දැං කාලෙ කොණ්ඩෙ කපනවනං ඊට කලිං ඔලුව හිරිවැටෙන්න බෙහෙත් විදින්න ඕනැ. පනාවෙ ඝනකමට කොණ්ඩෙ මට්ටං කපන ගමං
“මේ ළමයෑ කොණ්ඩෙ ඝනකං වැඩියි. ඇට්ටර ඇති හරී………….යට ඒකයි. කතුරත් හංවෙනව මේ වැඩෙං.”
කියල කතුරෙ මැද දෙමං හන්දියෙ පැටලිච්චි කෙස් වල්ලක් අමු අමුවෙ ඇදල දානව. එයිට පස්සෙ කන දෙපැත්තෙයි බෙල්ලෙයි කෙස් ටික දැලිපිහියෙං ගාන්න ගිහිං
“ඔය ඉතිං හෙල්ලුවනෙ”
කියලා කන දෙපැත්තයි, බෙල්ලයි ප්ලාස්ටර් ගහන්න වෙන තරමට කපා දානව. දෙමව්පියන්ව සන්තෝස කරන්නයි ගුරුවරුංට අල්ලගන්න ලේසිවෙන්නයි ගෙදර පොල්තෙල් බෝතලේ ඉක්මනට ඉවර කරන්නත් ඕන හංදා කොන්ඩෙ ඉස්සරහිං අවිච්චි පෙඳෙයක් වගේ කොටසක් පීරන්න කියලා ඉතුරු කරනව. මගෙ කොණ්ඩෙ අගිස්ස එහෙම ඉතුරු කරහම කෙස්ගස් ටික ඉදලක් වගෙ විහිදිලා ගිහිං මගෙ ඔලුවෙ පැත්තක් පැලවෙලා වගේ පේනව. ඒ ටික පැත්තට පීරලා හදාගන්න තට්ටෙ ගෑවත් බෑ කියලයි සිරිල් කියන්නෙ. ඔය විදිහට කපන කොන්ඩෙ තව මාසයක් විතර යනකොට ආයිමත් වැවිලා ඔලුව වටේ සමානව බෙදිල ගිහිං අපේ ඔලුගෙඩි පැහිච්ච පොල්ගෙඩි වගේ වෙනව. ආයිමත් ඉතිං පනපිටිං කෙස් ඉගිල්ලීමේ කටයුත්තට යනව.
ඒ කොණ්ඩෙ කැපිල්ල කොලුකමට ගැලපෙන්නැති තැන අපි බාබර් සාප්පු අතෑරලා ටවුමෙ තියෙන සැලුන්එකට ඇදුනා. සැලුන්නෙකේ පෝලිම ඉඩ මදිවුනහම පාර දිගෙත් පෝලිමේ හිටියා. පොල්ගෙඩි වගේ ඔලුගෙඩි එක්ක සැලුන්නෙකට ගිය අපි උඩිං ඉතුරුකරලා වටෙං කොට කරපු කූඤ්ඤ වගේ ඔලුගෙඩි එක්ක එලියට ආවා. අපේ අමුතුම කොණ්ඩ කැපිල්ල දැකපු මව් දෙමව්පිය නෑදෑ සනුහර අහල පහල ගුරු දෙගුරු කියන අටවනක් පිරිස අපේ ඉහටිය කන්න පැන්නා.


“ඉලන්දාරිකම ඉහට ගහල. මුං හිපියො වෙන්නද කොහෙද යන්නෙ”


“ඉවරයි. මුංව කීකරුකමට හදාගන්න බැරියුනානෙ. දැං ඉතිං ගමේ කෙල්ලෙක් තියා නාකි ගෑනියෙක්කත් පාරෙ ගිහිං වියරයි. මුන්ට විසේ ගහලනෙ ඉහට”
ඒවට කීකරු වෙනවට වඩා අපේ කොණ්ඩෙ කීකරු කරගන්න එක අපිට ගැටළුවක් වෙලා තිබුනෙ. ඒකට පිලියමක් විදිහට බුතලයා ගාන කොන්ක්‍රීට් ආලේපෙ තියෙන කඩවල් හොයාගන්න අපිට පුළුවං උනා. දොදොලක් වගේ ලෙලදෙන පුදුමාකාර පුසුඹක් තියෙන ජෙල් කියන ජාතිය ගන්න මාලුපාං දහයක් කැප කරන්න අපිට සිද්දවුනා. ඒ කැපකිරීම අපතෙ ගියෙ නෑ. ජෙල් තලියක් ගෑවම උණ පඳුරක් උනත් ඕන හැඩේකට නමලා තියන්න පුළුවං කියල අපිට තේරුණා. වරුනා උගෙ කොන්ඩෙ දෙකට මැදින් බෙදලා දුවනකොට උඩ විසිවෙන කොණ්ඩ පලු දෙකක් හදාගත්තා. මාත් මගෙ කොණ්ඩෙ වමට හරෝල පීරුවා. වෙනදට කලාමැදිරිය කාපු ගොක් අත්ත ඉහිරුණා වගේ දිගෑරෙන මගෙ සුලිය වටේ කෙස් ටිකත් යහමින් ජෙල් ගාලා දෙකට නමලා අඹරලා වම්පැත්ත බලා යන කෙස් ගංගාව අස්සට රිංගවලා තලලා මට්ටං කරහම මගෙ කොණ්ඩෙට ටිංටිංගෙ තිවුනු නෑකම නැතිවෙලා ගියා.

ටිං ටිං

ඔලුවෙං පහලට බහිද්දිම තව අඩුපාඩුයි. ඇඳුං මහන තැනිං කමිසෙ මහල දෙනකොට කමිසෙ පිටේ ඉතුරු කරල දෙන ඉරි දෙක හොයාගන්නවත් බැරි විදිහට ඉස්තිරික්කෙ විසින් මකා දමලා කියල අපිට තේරුණා. ඒ නැතිවෙච්චි අයිතිය දිනාගන්න අපි ආපහු ඒ ඉරි දෙක තිවුණු විදිහටම නමල මැදලා හන ගැහුවා. සමහරු පරණ ඒවට හරියන්න කමිසෙ අටට නමලා පිට මැද්දෙ අටපට්ටං මකුලු දැලක් හැදෙන්න මැද්දා. 
කලිසමෙං තුනටියට බහින්න ලැබුනෙ නෑ. කලිසම එහෙම පිටිම්ම සරමක් වගේ වෙලා කියල අපිට පෙනුනා. ඉස්කෝලෙ මහත්තුරු අඳින ජාතියෙ මහත්තය කලිසං අඳින එක නාකි පාටට අපිට පෙනුනා. අපි ඇඳුං මහන තැන වෙනස් කලා. තැන වෙනස්වුනත් එක්කම අපේ යටිකයට අලුත් හැඩයක් ලැබුනා. වෙනදට කලිසමේ රෙද්දත් ඇඟත් අතරිං තව කෙනෙක්ට හිටගන්න තරමට ඉඩ තිවුන කලිසමේ උඩ කොටස අපි පොඩිකාලෙ ඇඳපු කලිසමක් තරං පොඩියට මැහුනා. ඒ කලිසමේ ඉන තුනටිය ගාවට ගන්න දරුණු කිරිපනු රෝගියෙක් දඟලනව වගේ දඟලන්න අපිට සිද්දවුනා. කාසියකට උඩිං කඩදාසියක් තියලා කාසිය අච්චු ගහගන්නව වගේ ඕන නං කාටහරි කෙනෙකුට අපේ කලිසමට උඩිං බලලා ශරීරාංග තිතටම ලකුණු කරන්නත් පුළුවංකම තිබුනා.
කලිසමේ දනිස්සට පහලිං කොටහ එයිට උඩ කොටහෙ හතුරෙක් වගෙයි හිටියෙ. උඩ ටිකටත් හරියන්න පහල ටික බුරුලට තිබුණා. කලිසමේ අඩියම හරිය සපත්තුව වහගෙනම යන තරං ලොකුවට තිබුණා. ඔලුවෙං හිටගෙන අත්දෙකෙං ඇවිදින කෙනෙක් හිටියනං. ඒ කලිසමේම යටි පැත්තෙං කකුල්දෙක දාලා අඳින්න පුළුවංකම තිබුණා. මේ අරුම පුදුම කලිසමත් ගුරුවරුංගෙං, ගෙවල්වල අයගෙං, අහල පහල අයගෙං සෑහෙන අවලාද ඇහුවා.
“මුංගෙ තට්ටං මැස්සො බීලා. කකුල්ඔලට බරව හැදිලා”


“මිනිහට කලිං කලිසමේ අඩිය යනවා”
වෙනදට සපත්තු දෙක රතු ලැටරයිට් පස, කලු පැහැති ලෝම පස ආදී පස් වර්ග වලිං ඕනෑම එකක නියැඳියක් ගන්න තරං උඩ යට දෙකම පෝසත්ව තියාගත්තත් කොල්ලෙක් වසයෙං සපත්තුව හාප්සීට් එකක් තරං සුදට තියාගන්න ඕන වෙනව. ඒ හංදා අපි වැරදිලා හරි අපේ සපත්තුවක් යන්තමට හරි පාගන එවුන්ට දෑත බදලා කොන්ද හරහා යන්න සැලකුවා.

පොත් බෑග් එකේ පොත් දාගෙන පිටේ එල්ලගෙන යාම බාලාංස පන්තියෙ වැඩක් තත්වෙට පත්වුනා. අපි කොල්ලො වසයෙං පොත් ටික අතේ තියාගෙන යන්න පුලුවංකම හදාගත්තා. වෙනදට පිටු එකසිය හැටේ පොත්වල ලියපු අපි පිටු අසූවෙ පොත් වලට තැන දීලා අල්ලට ගැලපෙන පොත් කට්ටලයක් හදාගත්තා. පන්තියෙ ඉඳගනිද්දි වුනත් පුටුවට ලේන්සුවක් එලලා ඉඳගැනීමෙං කලිසමේ පස්ස පැත්තේ සාක්කුවල කුණු ගැවීම නවත්තගත්තා. පුටුවල ඇන්දට හේත්තු නොවී බංගුවෙ ඉඳගත්තා වගේ ඉඳගත්තම කමිසෙ පොඩිවෙන එකත් වලක්වගන්න පුලුවං වුනා.

වෙනදට බස් එකේ අැතුලෙ සීට් එකක් ඉඳගන්න පොරකාපු අපි බස් එක අද්දනකොට දුවලා ගිහිං පුට්බෝඩ් එකේ එල්ලෙන්න පුරුදු වුනා. තනි අතිං පුට්බෝඩ් එකේ එල්ලිලා අනික් අතෙං පොත් ටිකත් අතේ තියාගෙන පුට්බෝඩ් එක පිසගෙන හමායන හුළඟට ඔලුව ඇල්ලුවහම තරුණ ජවය අපේ කෙස්ගස් අස්සෙං ගලාගෙන යද්දි බස් එකේ කොන්දොස්තර වෙලා හිටිය පියසේන මාමා බලියන්න පටංගත්තා.

“තමුසෙලා පුට්බෝට්ටෙක පල්ලෙ වැටිලා මැරුණහං පස්සෙ අපිට තමයි පොලිසි යන්න වෙන්නෙ”


“අනේ ලමයිනෙ පිංසිද්ද වෙයි දොරෙං උඩට වෙනවලකො”

ඉස්සරහ දොරෙත් පිටිපස්සෙ දොරෙත් අපි වගේ තරුණයො දුසිං දොලහක් විතර එල්ලගත්තු බස්සෙක මූනෙ පැත්තක් ඉදිමිච්ච මිනිහෙක් වගේ වමට ඇලවෙලා පාරෙ යද්දි අපිට ඉහළ පන්තිවල අයියලා අපිට ඉඩදීලා බස්සෙක ඇතුලට ගිය කාරණාව හොයාගන්න අපේ ටිකිරි මොළ ටිකට තව සති ගානක් ගියා. ඔව්, ඒ අයියලා අපේ පන්තිවල හිටපු ගෑනු ළමයි බස්සෙක ඇතුලෙ ඇදගෙන වැටෙයි කියලා ඒ අයට පිටිපස්සෙං හිටගෙන ආධාරක සපයාගෙන හිටියා. සමහර වෙලාවට ඉස්සරහ පැත්තට වැලමිටෙං ආධාරයක් දීගෙන හිටපු අයත් හිටියා.

අපි අපේ අඩුපාඩු සම්පූර්ණ කරගෙන තම තමන්ට ගැලපෙන අන්දමේ ගෑල්ලමයි හොයන්න පටං ගත්තා. වැඩි කලක් නොගිහිං අපේ වරුනාට කොණ්ඩෙ බොක්කට් කපාපු නංගියෙක්ගෙ ආස්සරේ ලැබුණා. උං දෙන්නට වැඩිය මුණගැහිලා කතා කරන්න තැනක් තිබුණෙ නෑ. ඒ හංදා දෙන්නා අතර පණිවිඩ හුවමාරුව කෙරුණෙ තවත් කීප දෙනෙක් හරහායි.

උගේ කෙල්ල මුලිම්ම කලේ වරුනගේ ඇඟිලිවල ගාගෙන හිටිය කියුටස් ටික මකන්න අණ දීම. ඒකට ඕනැකරන තිනර් වගේ ජාතියකුත් ඒ නංගිම අපිට එවලා තිවුනා. වරුනගේ අමු තිත්ත කුණුහබ්බ වරුසාවක් මැද්දෙ අපි ඌව හතර මුල්ලෙං අල්ලගෙන උගේ නියපොතු ටික සුද්ද කෙරුවා. ඊළඟට වරුනගේ කරේ තිබුණු සුදු යකඩ මිනී ඔලුව තියෙන චේන්නෙක ඇතුළු අනික් නූල් කෑලි, පෙන්ඩන් එක්කොමත්, අතේ බැඳලා තිවුණ පටි, නූල් ආදී එක්කොමත් අපි ලව්වා ගලෝලා ඒ නංගිගෙ බාරෙට ගත්තා. කෙල්ලො කවුරුවත් ඒ වගේ එව්වට කැමති නැතුව ඇති කියලා හිතලා අපිත් අපේ ගාව තිවුණු ඒ වගේ සුකුරුත්තං සේරමත් ගලෝලා අහක් කරගත්තා. ඊළඟට වරුනගෙ කොණ්ඩෙ මැදිං නොබෙදා පැත්තට පීරන්නත් නියෝගෙ ලැබුණා.


“ඒ අහවල් එක ඇත්තිට ප්‍රජනනය කරගන්න කියපං. මට බෑ”

වරුනා එකහෙලාම විරුද්ධ වුනා. අපි වරුනාව බලෙම්ම අල්ලගෙන කෙල්ලංගෙ වතුර බෝතල්වලිං උගේ කොණ්ඩෙ හෝදලා අපේ ලේංසුවලිං පිහදාලා අපේ පුද්ගලික ජෙල් ටිං වලිං ජෙල් ගාලා වමට නමලා පීරුවා. එදා අපේ දෙමව්පියො අනුමෝදං කරගත්තු පිං බලෙං උන්දැලා ආයිමත් මේ මනුස්ස ලෝකෙට පය තියන එකක් නෑ කියලා අපිට තේරුණා.

මේ සුදුසුකං සේරම සම්පූර්ණ කරලා අවසන් උනාට පස්සේ වරුනාට හිර නැති කලිසමක් මහගන්න මාස ගානක සහන කාලෙකුත් ලැබුණා. ඒ විතරක් නෙවෙයි ඉස්කෝලෙ ගේට්ටුව පහුවුනාට පස්සෙ ඒ නගාගෙ ළඟිම්ම පස්සෙං එන්නත් කතා බහ කරන්නත්, බස් එකේදි ළඟ හිටගෙන යන්නත් වරුනාට අවසරේ ලැබුණා.

සුභ මොහොතිං වරුනගේ ලව්වෙකේ මංගල කතා බහ පටං ගන්න හිතාගෙන අපේ පන්තියේ කොල්ලො සේනාවම පිලිවෙතිං පෙලගැහුනා. වෙනදට ගාල කඩාගත්තා වගේ දුවන අපි පිලිවෙතින් පෙලගැහුනා.


“කෙල්ලො ඉතිං වනවනා හිමිංනෙ යන්නෙ බං. අපිත් වෙනදට වඩා පහුවෙලා යමල්ලා. නැත්තං අපිට පාරෙ බලා ඉන්න වෙනව.”

අපි එහෙම හිතාගෙන බෙල්ලෙක ගැහුවට පස්සෙ ගාථා සේරමත් කියලා හීංසැරේ ඒ නගාගෙ පන්තිය ගාවට ආවෙ එයිට පිටිපස්සෙං ගමන පිටත්වෙන්න බලාගෙන. නගා නෑ. මං වහාම උංගෙ පන්තියට පැනලා

“කෝ බං **** නංගි”

කියල කෙල්ලෙක්ගෙං ඇහුවා.

“ගියා”

කියල උත්තරේ ලැබුණා.


“වර යන්න ඒකි ගිහිල්ල”

මං වරුනවත් ඇදගෙන ඉස්සර උනා. අපිට පස්සෙං බට්ටයි කලුවයි, ඊට පස්සෙං බලියන්නො ජෝඩුව, ඊට පස්සෙං තව දෙන්නෙක්, ඊට පස්සෙං තවත් දෙන්නෙක් වසයෙං අපේ පන්තියෙ රැලම අපේ පස්සෙං වැටුනා.  අපි ගේට්ටුව පහුකරද්දි **** ගෙ දුම් පාරවත් නෑ. දහපාලොස් දෙනෙක් ඉන්න අපේ පන්තියෙ සෙට්ටෙකම ටෙන්වීලර් එකක් වමෙං දාලා කෝච්චියක් ඉස්සර කරනව වගේ අනික් එවුං ඉස්සර කරගෙන වේගෙං ඉදිරියට ඇදුනා. අපි සෙට්ටෙක විදුලි වේගෙං ඇදෙනව දැකලා හතේ අටේ එවුං අපෙං මෙහෙම ඇහුවා.


“අයියෙ වලියක්ද”


“දහතුනේ එවුං එක්කද, ගාමිනියෙ එවුං එක්කද?”


“ඔය බට්ටවත් වලියට ගෙනියනවද”

ජීවිතේට වලියක් තියෙන අහලකවත් ඉන්නෙ නැති අපිට ගිනිග්තත රැවුලෙං බඹර චක්කර පත්තු කරන්න එන පොඩිවුන්ට උත්තර දෙන්න වෙලාවක් තිබුනෙ නෑ. අපි වෙනුවට උන්ට “වචන ස්වල්පයකින් ආමන්ත්‍රණය කරන්න” බට්ටා බාරගත්තෙ ඌ වෙනදටත් මීටර් සීය දුවලා පලවෙනියා වෙන හිංදයි.

මිනී පෙට්ටි සාප්පුව පහු කරලා ග්‍රාම සේවක කාර්යාලෙ ගාවට එද්දි වරුණගේ දිව එලියට ඇදිලා හති දානවා.

“මේකි බටකොළ ආච්චිගෙ ඉදලෙන්ද බං ගමං යන්නෙ”


බලියන්නො දෙන්නා මහ හයියෙං කෑ ගහනව.


“හැහ්…හැහ්…. හිමිං ….හැහ්…. යමං …… ඉදිච්ච ගෙඩියෝ”

වරුනා අපිට මාලයාලං බාසාවෙං අමතද්දි මං උගෙ බෙල්ල වටේ ඔතන මකරා ඇඳපු ලේංසුව ඇදගෙන දිව්වේ ඒ ලේංසුව ඌ සෑහෙන පරිස්සං කරන එකක් බව දන්න හිංදයි. වරුනා ඩිංගක් වේගෙ අඩු කරන්න හදත්දි උගේ ලේංසුවෙං මගේ මූණ පිහින්න යන බව පෙන්නුවහම කවුද බෝයි දැකපු ජුන්ඩයියා වගේ වරුනා මරු විකල්ලෙං මාව අල්ලන්න දුවනවා. ලේන්සුවෙ පිහිටෙං වරුනව තැපැල් කන්තෝරුව ගාවට වෙනකං කන්ද හැල්මේ දුවවන්න මට පුළුවං උනා. අපේ අනික් කණ්ඩායමත් පාරෙ යන වාහනවලට වෙට්ටු දාගෙන අපේ පස්සෙං දිව්වා.

එතන ඉඳං බැලුවහම මීටර් සීයකට වඩා දුරිං බස් ඉස්ටෑන්ඩෙක පේනවා. රත්නපුරේ ඉඳං තව බස්සෙකක් එක්ක රේස් එකක් තියලා දිනපු බස්සෙක ඉස්ටෑන්ඩෙකට දානව වගේ වේගෙකිං වරුනගේ කෙල්ල හමුදා ඇඳුමෙ ඩිසයින්නෙක තියෙන බෑග්ගෙකත් කරේ එල්ලගෙන වමට කපලා බස් ඉස්ටෑන්ඩෙකට ගොඩවෙනවා දකින්න අපි දෙන්නටම පුළුවං උනා.

මගදි වචනයක් කතා කරන්න කුළුඳුලේ ලැබිච්ච චාන්සෙක ගහල ගිය වේදනාවට වඩා මෙච්චර දුරක් හති හලාගෙන දුවපු දිවිල්ලෙ අමාරුවට දාඩිය පෙරාගෙන දනිස් දෙකට අත තියාගෙන ඩිංගක් වෙලා හති ඇරපු වරුනා උගෙ කුළුඳුල් කෑල්ල වෙනුවෙං හිතේ උපං හැඟිම මුලු ලෝකෙටම ඇහෙන්න අපේ ඉස්සරහ මුදාහැරියා.

“මං ඔය *ස **තිගෙ අඬු දෙක කඩනව”

%d bloggers like this: