Menu Close

කනපිට මාකෝනි

පහ වසරෙ දරුවෙක්ගෙන් රේඩියෝව හොයාගත්තේ කවුද කියලා ඇහුවොත් උත්තරේ ලැබෙන්නේ

“මාකෝනි”

කියලයි. රූපවාහිනිය හොයාගත්තෙ කවුද ඇහුවොත් කියන්නෙ 

“ජෝන් ලොගී බෙයාඩ්” 

කියලයි. ඒ දැනුමට තවත් යමක් එකතු කරන්නයි මේ කතාව.
**************************************************************************
රෑ කෑමට පස්සෙ අරළු පෙති බීපු කෙනෙක් උදේ පාන්දරම දවස පටං ගන්නව වගේ සද්ද ගොඩක් නැන්දලගෙ ගෙවල් පැත්තෙං ඇහුනා.
මේ සද්දෙං කියන්නෙ එදා දවසෙත් පියසේන මාමා වැඩට ගිහිං නෑ කියන එකයි. හුඟක් දවස්වලට මේ වෙලාවට ආච්චිඅම්මත් චූටිවත් ඇදගෙන අපේ ගෙදරට එන්නෙ 
“පීසේන අදත්තර රේඩිවේක කඩාලනව. කනක්කැහිල ඉන්න හැටියන්නෑ. කං බීරිවෙනව“
කියාගෙනයි. ඔය සද්දෙට නිකම්ම ඇදිල යන කෙනෙක් අහල පහලක හිටියනං ඒ මං විතරයි. ඉතිං මං අඩියට දෙකට පල්ලම බැහැල කන්ද නැගල නැන්දලගෙ ගෙදරට ගියා. මං යද්දි පියසේන මාමා සාලෙ මේසෙ උඩ රේඩිවේකෙ පලු දෙක දෙපැත්තට ගලෝල මදේ වෙනම තියල. බැට්ටි කෑලි දාපු බටේ වෙනම තියල. ඒකෙ දෙපැත්තට වෑර් දෙපොටකට අමුණපු හැට්ටකටු දෙකක් තියල ටියුබ් පටියකිං වෙලල. රේඩිවේකෙ මූනෙ ඇලිල ඉන්න පීකරේ විතරක් විටිං විටේ බඩ විරේක වෙන සද්දෙ පිට කරනව. පියසේන මාමා ඉස්කුරුප්පු නියනක් අරං රේඩිවේකෙ මදේ තියෙන පෙට්ටි හැඩේ කෑලිවල මැද තියෙන රවුං කරකෝනව. එකක් ඩිංගක් කරකවපු ගමං පීකරේ බොහොම ගාම්භීර විදිහට
“බර්ර්ර්ර්රර්ර්ර්ර්“
කියනව. ආයිමත් අර රවුම ආපස්සට කරකැව්වහම ඒ සද්දෙ නවතිනව. ඊළඟට තව එකක් කරකවනව. ඒ ගමන මරණාසන්න රැහැයියෙක් තමුංගෙ අවසන් කැමති පත්තරේ කියවනව වගේ කං කලාඳුරු ගැලවෙලා විසික්වෙන සද්දයක් එනව. දොරකොඩ පඩිය උඩ ඉන්න බිංදුවා (මේ කීවෙනි බිංදුදැයි මතක නැත) කං ගොටු දෙක හොඳට උඩට උස්සලා ගේ පැතත් බලනවා. ඒකත් හරියන්නෑ. පියසේන මාමා ඒ කරකවපු එකත් ආපිට කරකවන්න බලනව. එක වගේ පෙට්ටි හය හතක් තියෙන හංදා දැං කරකවපු එක මතක නෑ. ඒ ගමන දෝසෙ හරියනකං එව්වා එකිං එක කරකවනව. ඒ හැම කරකැවිල්ලකිංම අජීරනේ තව තවත් දරුණු විදිහට වැඩිවෙනව. අන්තිමට දරුණු මල පෙරේතයෙක් වැහිච්චි පිස්සෙක් සොහොනට දුවන්න කලිං හූ තියනව වගේ ලතෝනියක් පීකරෙං පිටවෙනව. රේඩිවේකත් ආතගෙ සොහොනට දුවයි කියල බයවෙලාද කොහෙද පියසේන මාමා රේඩිවේක වහන සුයිච්චෙක හොයන්න වටේ පිටේ අතගාල හරියන්නැති තැන බැට්ටි බටෙං හැට්ට කට්ට පැන්නුවා. 
“අනේහ් හත්තිකේ“
නැංදා කුස්සියෙ ඉඳං බෙරිහං දුන්නා. පියසේන මාමත්, ඒ පිටිපස්සෙන් මාත් කුස්සියට දිව්වා. නැංදා එක කකුලක් ඉඳුල් වතුර කොරහෙ ඔබාගෙන බංකුවෙ ඉඳං බෙරිහං දෙනව. 
“මොකද උනේ“
පියසේන මාමා අැහුවා.
“මං ලිපේ දරකෑල්ලක් අදිද්දි ආං අර කැවුතු කැටිය මගෙ කකුලට වැන්නා“
නැංදා වං අතිං කකුල බදාගෙන අනික් අතිං ලිප ගාව බිම වැටිල තියෙන පලුවක් නැති සේසතක් වගේ එකක් පෙන්නුව. 
“ආ….. මේ බවුත්තෙක. මං ඒක ලිපේ තියල තිවුනෙ රත්වෙන්න“
පියසේන මාමා කුඩ නනේක අගිස්සට මැදිවෙන්න තඹ සතයක් දෙකට නමල හදපු බවුත්තෙක අහුලගෙන ලිපට දාලා ගිනි අඟුරු ටික එක්කහු කරල බට කුඹලෙං පිම්බා. බවුත්තෙකට ඇතිවෙන්න ගින්දර වැටුනට පස්සෙ නැන්ද ගාවට ඇහිල්ලා කකුලෙ පිච්චිලා තියෙන තැන බැලුවා. ඒක හරියට පේන්නැති හංදා ආපහු ගිහිං රේඩිවේකෙ බැට්ටි බටේ ගලෝලා ඒකෙ බැට්ටිකෑලි ටික ටෝච්චෙකට දාලා බලද්දි ටෝච්චෙකේ අඩිය නෑ, ආයිමත් පරණ යකඩ බඩු පෙට්ටිය ඇදලා ඒකෙ තියෙන ටෝච් අඩි වලිං එකක් අරගෙන ටෝච්චෙකට දාලා තද කරලා බැලුවා. ඒ අතරෙ ටෝච්චෙකට උප්පත්තියෙම්ම අයිති අඩිය බිංදුවගෙ ටකරම අස්සෙ තිවිල හොයාගන්න මට පුළුවං වුනා. ඒ විදිහට අමුණපු ටෝච්චෙකේ එළියෙං නැංදගෙ කකුලෙ හරහට දම්පාටට හැරිල තිවුන පිච්චිල්ල ඉඳුල්වතුර කොරහෙ බොරපාට අතරිං බලාගන්න අපිට පුළුවං වුනා. ඉං පස්සෙ චූටිව පොඩිකාලෙ නාවපු බේසමට වතුර පුරවල ඒකෙත් නැන්දගෙ කකුල ඔබල තිව්වා. ටික වෙලාවක් ගිහාට පස්සෙ නැන්දා වලං අල්ලන පාංකඩෙං කකුල පිහදාගෙන ඒකෙ කුකුල් තෙල් ටිකක් ගාගන්නව.
ආයිමත් පියසේන මාමා රේඩිවේකෙ වැඩ පටං ගන්නවා. බැට්ටි බටේ ටියුබ් පටිය පැනල බැට්ටි කෑලි රෝල්වෙලා ගියත්, වෑර් එකට ගැවිල ගින්දර විසිවුනත් ඒ හැදිල්ල නවතින්නෙ නෑ. සමහර වෙලාවට මං අහන ප්‍රශ්න වලට උත්තර බඳින්නත් පියසේන මාමට සිද්දවුනා.
“මොකද්ද මාමෙ මේ බෙහෙප්පෙති වගේ කෑල්ල“


“ඒක කරන්ටෙක යන කෑල්ලක්“


“මේ බටේ එතකොට“


“ඒක සේවා අහුවෙන කෑල්ල“


“සේවා අහුවෙන්නෙ බටේ අස්සෙං යද්දිද?“


“ඔව්“

“එතකොට බටේ අස්සෙං නොගියහම?“

“නෑ. බටේ අස්සෙං තමයි යන්නෙ“


“සේවෙ දන්නවද බටේ අස්සෙංම යන්න ඕනි කියල?“


“හ්ක්ම්“


“මේ පනුවො මොක්කුද?“

“ඒ කෑලි“

“ඒක මොකටද?“

“කරන්ටෙක අඩු කරන්න“

“ඉතිං කරන්ටෙක අඩු කරන්නෙ මොකද?“

“නැත්තං සේවෙ අහුවෙන්නෑ“

“මේ බැරල්ලෙකක් වගේ එකෙං මොකද වෙන්නෙ?“

“ඒකෙං කරන්ටෙක යනව“

“ඉතිං ඒවෑනුත් කරන්ටෙක යනව නං ඒව නැතුව මේ බෙහෙප්පෙතිම දාන්න තිවුනනෙ?“

“හ්ක්ම්“
ඔය අතරෙ සැරිං සැරේ වෑර් පොටවල් පාස්සන්නත් ඕනි වෙනව. එතකොට පියසේන මාමා කුස්සියට ගිහිං ලිපේ දාපු බවුත්තෙකේ මිට ලිප ගාව තියෙන වලං අල්ලන පාංකඩෙං අල්ලල අරං අඩි දෙකට දුවගෙන එනව. සමහර වෙලාවට බවුත්තෙක ගෙනාවයිං පස්සෙ පාස්සන තැන අමතකවෙලා ආපහු මුල හිටං හොයනව. එතකොට බට ටොපියක් වගේ රතුවට තිවිච්චි බවුත්තෙක නිමිල. ආයිමත් බවුත්තෙක ලිපට දාලා ඇවිල්ලා හරියටම පාහන තැන හොයනව. ඒ වෙලාවට මං ඒ තැන හරියටම මතක තියාගන්නව.
මට මතක තියෙන කාලෙ ඉඳං නැන්දා අලුතින් කැසට්ටෙක ගේනකං අවුරුදු හය හතක් තිස්සේ පියසේන මාමා හැදුවේ ඉස්සර ආත ගෙනැහ්ලා පාවිච්චි කරපු රේඩිවේක. පියසේන මාමගෙ රේඩියෝ හැදිල්ල ගැන කියද්දි අපේ තාත්තා කියන්නෙ
“රේඩිවේකක් මුලිම්ම හැදුව සුද්දවත් ඔච්චර කාලයක් රේඩිවේකක් හදන්නැතුව ඇති“
කියලයි.
 කැසට්ටෙක ගෙනාවයිං පස්සෙ ඒ වෙනකං ගෙදර පාවිච්චි කරපු රේඩිවේක පියසේන මාමාට ගොදුරු උනා. ඒ වුනාට පියසේන මාමට නව තාක්‍ෂෙනත් එක්ක ඉස්සරහට යන්න සෑහෙන උවමනාවක් තිවුනා. ඒ හංදා පියසේන මාමා අලුත ගෙනා කැසට්ටෙකටත් නැන්දා ගෙදර නැතිවෙනකං ඉඳලා ඉස්කුරුප්පු නියන තිබ්බා. 
වැඩි දවස් යන්න කලිං කැසට්ටෙකේ බඩ මැදිං ලොකු ටියුප් පටියක් බැඳුනා. ඒරියල් කූර උඩ ගිහිං වහලෙ උලු පේලි දෙකක් අතරෙ රැඳුනා. එතන ඉඳලා කැසට්ටෙකේ ඉස් මුදුනට ඉඳිවැල් කම්බියක් ඈඳුනා. වෙනදට සිංදු අටක් කියලා “ටොහ්“ ගාලා නවතින කැසට්ටෙකට හිතුවක්කාරකමට වැඩ කරන්න නිදහස ලැබුනා. ඒ හිංදා සිංදු අට කියල ඉවර වෙනකොට කැසට් පීස්සෙක නවත්තන්න කවුරුවත් හිටියෙ නැතොත් කැසට්ටෙක

“ජරබර ජරබර ජරබර“
කියලා ගෝරනාඩු කලා. ඒ වෙලාවට කවුරුහරි ගිහිං පීස්සෙක නවත්තන සුවිච්චෙක එබුවොත් ඒ සන්තෝසෙට තුංහුලස් ලාංඡනේ ඇඳපු සුවිච්චෙක උඩ ගිහිං ඉටිකොලේ වැදිලා බිම වැටුනා. පීස්සෙක එලියට ගන්න ඒ සුවිච්චෙක ආයි පාරක් එබුවොත් කැසට්ටෙකේ දොර ඇරිලා පීස්සෙක දොට්ට විසික් වුනේ ඉංගිරිසි බෙහෙත් බොන්න අකමැති කෙනෙක් දිවේ ඇලිච්චි පැන්ඩෝල් පෙත්තක් තුක්: කියල විසිකරන්නා වගෙයි. ජයසූරිය බාප්පගෙ මී වස්සව ගැට ගහන්න බලෙං ඇදගෙන යනව වගේ සේවා අල්ලද්දි එහාට මෙහාට යන කටුවත් ඇදේට යන්න පටංගත්තා. කම්බි කෑල්ලෙං බැඳිල ඉන්න අකමැති වෙච්චි සමහර රෝද තමුංගෙ කොට්ට පැදුරුත් අරගන හෙලපල්ලටම ගියාට පස්සෙ ඒ තැන ගත්තෙ නූල් බෝලෙ මැද බටේ, පෑංවල පිට බටේ, දත්බෙහෙත් මූඩි වගේ ඒව. සමහර දවස්වලට ගායිකාවො කියන සිංදු කැසට්ටෙකෙං ඇහුනෙ අමරදේවගෙ හඬිං. පුන්සිරි සොයිසා සිංදු වමනෙ දැම්මා. පියසේන මාමට ආයිමත් කැසට්ටෙක ගලෝල හදන්න සිද්දවුනා. ඒ ගමන බොහොම හිමීට කියන සිංදුත් අංක එකේ වේග රිද්ම ගීත බවට පත්වුනා. එව්වා ඇහෙන්න ගත්තෙ ලේන්නු රංචුවක් පොරකනව වගේ. අන්තිමට පෝය දවසට බණ අහන්න ඕනැ උනහම ආච්චිඅම්මා හීංසැරේ වේල්ලෙං එගොඩවෙලා අපේ ගෙදරට ආවා.

“ලොකු ළමෙයො. ඔය බණ ඩිංගක් දහංකො මට අහං ඉන්න.“
බණ අහල ඉවරවෙලා පිංදීලා රේඩිවේකෙ පීකරේ දිහාවට හැරිල වැඳලා ඉවර උණාට පස්සෙ

“ගෙදර තිවිච්චි පරණ රේඩි කබලත් පියසේන කඩා දැම්මනෙ“
කියන්නත් ආච්චි අම්මා අමතක කලේ නෑ.
ඒ කාලෙදිම නැන්දා ගෙනාපු ටීවී එකත් පියසේන මාමට පෙනුනෙ තමුංට ජාතියන්තරේ ජයගන්න ලැබිච්චි අවස්ථාවක් විදිහට. ටීවියෙක බලන්න ගෙනාපු බැට්ටියෙංම අඩිරූලක් විතර දිග ඉටිපංදමක් ඉතර මහත ටියුබ් බලුප්පෙහෙකුත් පත්තු කරන්න පියසේන මාමා ඉගෙනගත්තා. ඒ දෙකම එක ජැක් එකෙං අමුණලා ටියුබ් බලුප් එකට සුවිච්චෙකක් දැම්මෙ ඕන වෙලාවට බලුප්පෙක දාන්නත් අනික් වෙලාවට ටීවියෙක විතරක් බලන්නත් පුලුවං වෙන්නයි. ඒ වුනාට ටීවියෙක බලන ගමං බලුප්පෙක පත්තු කරන්න සුවිච්චෙක දැම්මහම කැප්රෝල් දාන සෙල්ලං පිස්තෝලෙක සද්දෙ ත් එක්ක එළියක් විසිවෙලා පුළුටු ගඳක් පැතිරුනේ වෑර් පොදියකුත් උනු කරගෙනමයි. 
ටික දවසක් යද්දි පාලොස්වක දවසට හොල්මං පේනව වගේ පේන ටීවී බැලිල්ල හොඳට පේන තත්වෙට ගන්න පියසේන මාමට ඕනැවුනා. ඒකට කොට්ට ගහ මුදුනෙං යන සික්නල් ටික විතරක් මදි බව පියසේන මාමට තේරුං ගියා. ඒකට සික්නල් අල්ලන මුරකාරයො කීප දෙනෙක්ම ඕන කලා. ඒ හංදා වහලෙ මුදුනෙං යන සික්නල් ටික අල්ලගන්න ආච්චම්මගෙ පරණ ‘කුඩ රොඩ්ඩෙ‘ රෙද්ද ගලෝලා පැත්තකට දාලා කුඩේ ඇටසැකිල්ල අරං වහලෙ මුදුනෙ මුදුං උලුකැටයක් හිල්කරලා හිටෝපු ලීයක ගැටගැහුවා. ඒ පිහිටෙං වැහි දවස්වලට ගෙට නිකම්ම හම්බුවෙන වතුර ඩිංග එක්කහු කරන්න චූටිව පොඩිකාලෙ නාවපු බේසම පිහිටට හිටියා. කුසුංසිරි බාප්පලෑ ගෙදර තිවිච්චි පරණ ඇන්ටනාවක සුංබුං ටිකක් ගෙනත් කම්බි කෑලිවලින් පුරුද්දල හදාපු මකුලුවෙක්ගෙ ඇටසැකිල්ල වගේ ඇන්ටනාව අඟහරු ලෝකෙ දිහාවට හරෝල කිතුල් ගහ කිට්ටුව ‘ආත ගහේ‘ බැඳ තිවුනා. කොට්ට ගහ මුදුනිං යද්දි ඇන්ටනාවෙ පැටලෙන සිග්නල් ටිකයි, වහලෙ මුදුං උලු පේලිය දිගේ යද්දි කුඩ නනවල ඇමිණෙන සිග්නල් ටිකයි, අඟහරු ලෝකෙං බිමට වැටෙද්දි ආතගහේ තියෙන හබකට අහුවෙන සිග්නල් ටිකයි ඔක්කොම වයර් පොටවල් දිගේ ඇහිල්ලා උගුරැස්ස ගහේදි මුනගැහිලා තවත් කම්බි පොටවල් දෙකක් දිගේ ගෙට එද්දි අතර මගදි ඒවගෙ දිග මදිවුනා. කැලේට ගිහිං ගහක් කපාගන්න, ගඟ අයිනෙ තියෙන උණ පඳුරකිං උණ ලීයක් කපාගන්න වගේම හිඟපාඩුවක් වෙච්චි වෙලාවක කෙක්කක් දවුඩලා පාරෙ තියෙන ටෙලිපෝන් වයර් දෙකෙං රියන් දෙකතුනක් කපාගන්නත් තහනමක් අපේ ගමේ කාටවත් තිබුණෙ නෑ. ඒ හංදා පියසේන මාමාට වයර් නැතුව හුඟ වෙලාවක් බලං ඉන්න උනෙත් නෑ. 
අන්තිමට මේ ඇන්ටනා තොගේ දැකපු අපේ අම්මා මට අත්හිටුවීමේ නිවේදනයක් නිකුත් කෙරුවා.
“මේ ගෙදර කොල්ලො හුඟක් නෑ. උඹ එහෙම වැහි වෙලාවට, විදිලි කොටන වෙලාවට එහෙම පීසේන මල්ලිලෑ ගෙදර දිහාවෙ යනව එහෙම නෙමෙයි. ගියොත්තඬු කඩනොව.“
මේ තරං ඇන්ටනා දාලත් රූප පැහැදිලි නොවිච්ච හංදා ටීවියෙක ගලවලා බලන්න පියසේන මාමට සිද්දවුනා. එක පාරක් නෙමෙයි දහ දොලොස් වතාවක් ටීවියෙක ගලවද්දි ටිවියෙකේ තියෙන ඇන ටික පියසේන මාමාගෙ කාර්යක්ෂමතාවට බාධාවක් වුනා. ඒ හංදා එස් පහ සංකල්පෙට අනුව ඇන අයිංවෙලා ඒ වෙනුවට ටිකක් මහත ටියුප් පටි දෙකකිං ටීවියෙකේ පලු දෙක එක්කහු කරලා බැඳුනා. එතකොට ඕන වෙලාවට පාංකාරයගෙ පාං පෙට්ටියෙ ඉටිකොලේට දාපු පටිය පන්නනව තරං ලේසිවට ටිවියෙකේ පටි දෙක පන්නල අභ්‍යන්තරේ දකින්න පියසේන මාමාට පුළුවං උනා. මේ විදිහට නිතරම ගැලවීම නිසා බුරුල් වෙච්චි චැනල් කඩන රවුමටත් දෙපොට දාපු ටියුප්පටි කෑල්ලකිං හදපු තොණ්ඩුවක් දාලා ටීවියෙකේ පිටේ එල්ලන්න සිද්දවුනා. මං අන්තිමට දකිද්දි ඒ ටීවියෙක තිබුනේ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙං බලෙං ටිකට් කප්පගෙන මරදන්කඩවල වෙදමහත්තය ගාවට ගෙනියන ලෙඩෙක් වගේ.
පියසේන මාමගෙ හැකියාව ඉලෙක්ට්‍රොනික් අංශෙට විතරක් අයිති එකක් නෙවෙයි. එයිට වඩා දුර ගිය දැනුමක් පියසේන මාමට තිබුණා. කරන්ටෙක නැති කාලෙ ගෙදරක තිවුණු වටිනම බඩුව තමයි ලයිට්ටෙක. ඒකෙ නිපල්ලෙකක්, වේපරයක් මාරු කරගන්න එහෙම දන්න කියන අය හිටියෙත් කීප දෙනෙක් විතරයි. පියසේන මාමත් බොහොම අමාරුවෙං සල්ලි ටිකක් හොයාගෙන පරණ ලයිට් කබලක් ගෙනාවා. ඒක එතකොටත් වැඩ කරන්නෙ නෑ. ඒ හංදා ඒක හදන්නම වෙනවා. රේඩියෝ හදනව වගේ නෙමෙයි ලයිට් හදන වැඩේට යතුරු, ඉස්කුරුප්පුනි, වගේ සුළු ආවුද වගේම මිටි, පිහියා වගේ බර ආවුද එහෙමත් ඕනැ වුනා. බවුත්තෙකෙං වැඩක් නැති හිංදා නැන්දා ලිපේ අළු අරං දාත්දි බවුත්තෙකත් උගුරැස්ස ගහ මුල අළු ගොඩට වැටුනා.
උත්සාහෙ අතාරින්නෙ නැතුව දිගටම වැඩ කරද්දි ලයිට්ටෙකේ සමහර යකඩ කෑලි නමන්න හිට සිද්දවුනා. ඒ හංදා ගෙදර තිවුනු කිරි කපන පිහියට එහෙමත් යකඩ කපන කටුවක් වෙනුවට වැඩ බලන්න සිද්දවුනා. දවස් ගානක් නොකා නොබී වැඩ කරලා ලයිට්ටෙකේ තිමිනියත් පොඩි කරගෙන, මැන්ටලෙයි වේපරෙයි දෙකමත් කුඩු කරගන්න පියසේන මාමට පුළුවං උනා. ඒ කෑලි ටිකත් කඩෙං ගෙනැත් දාලා හදාපු ලයිට්ටෙක මුලිම්ම පත්තු කරන වෙලාවට ඒ පැත්ත පලාතෙවත් ගියොත් මාව ඇස්දෙකේ ඉඳං පට්ට ගහන බවට අම්මා දිවුරලා තිබුණා.
ඒ හංදා ඒ උත්කර්ශවත් දවසෙං පස්සෙ දවසෙ නැන්දලගෙ ගෙදරට යද්දි දොරකොඩ රෙදි වැලේ පැත්තක් අඟුරු වෙච්චි සරමක් වනල තිබුණා. සාලෙ මේසෙ ඉටිකොලේ වෙනුවට පත්තර කොල දෙකක් එලල තිවුනා. සාලෙ මැද හරියෙ බිම කලුපාටට රවුමක් ඉතුරු වෙලා තිබුණා. වහලෙං රොඩු වැටෙනවට සීලිම වගේ ගහල තිබුණු ඉටි රෙද්දෙ මැද හරිය උණුවෙලා ලොකු රවුමක් හැදිල තිවුනා.
“කෝ ආච්චම්මෙ ලැයිට්ටෙක?”
මං ආච්චම්මගෙං ඇහුව.


“අන්න පිලිකන්නෙ ඇති. ඊයෙ රෑ පීසේන ඒක පත්තු කොරන්න ගිහිං සරමත් ගිනි තියාගෙන මේසෙටත් ගිනි ඇවුලුනා. තාපොඩ්ඩෙදි ගේත් ගිනිගන්නව. පස්සෙ ඔන්න මැණිකා අර බලට්ටක් ඇරං ඇහිල්ල ඒක ඇදල දොට්ට විසික් කෙරුව. ලාම්පුතෙල් බෝතලේකට වැඩිය අහක්ගියා”
මං ගිය ගමන අම්ම දැනගන්න කලිං මං ආපහු ගෙදර ආවා.

*********************************************************************************


දැං අර කලිං ප්‍රශ්න අහපු පහේ පන්තියෙ දරුවගෙන්ම තව ප්‍රශ්නයක් ඇහුවැකි.


“ගුවන්විදුලියයි රූපවාහිනියයි දෙකම නැති බංගස්තාන කලේ කවුද?”

%d bloggers like this: