Menu Close

කුණු කඳු තුනී කරන හැටි

කුණු ගැන කතාබහ ඉවරය. දැං කුණු ගොඩේ කතාවත් කුණු ගොඩට දමා අහවරය. ඒ හංදා කුණු ගැන කතාව කුණුගොඩෙං ඇදගෙන තලු ගහන්නට මට වෙලාව ඇවිල්ලාය. මේ කියන්නට යන්නේ මහා කුණු කඳු ඇතිවීම එදා අපේ ගම්වාසීන් වලක්වා ගත්ත විදිහය.
හුඟක් ගෙවල්වලින් අහක දාන ජාතියක් වන්නේ කෑම ජාතිය. අපේ ගෙදරත් එක වේලකට හය හත් දෙනෙක්ගේ ප්‍රමාණයට කෑම උයන බැවින් සෑහෙන කෑම ප්‍රමාණයක් දවසකට ඉතිරි වන්නේය. ඒ වුනාට අපේ ගෙදරිං කෑම කුණු හැටියට විසි කරන්නේ නැත.

හැන්දේ නොපිටිං තද කර මහා මැටිකෝප්පයක් පුරවා දෙන තාත්තාගේ බත් පිඟානත්, අනික් අයගේ බත් පිඟන්වලත් තියෙන කෑම වලින් බාගයක් විතර අපිට කාගන්නට බැරුව ඉතුරු වන්නේය. ඒ වෙලාවට අපි කරන්නේ මිදුලට බැස මෙලෙස කෑ ගැසීමයි.


“බිංදු ඉඦෝහ් ඉඦෝහ් ඉඦෝහ් ඉඦෝහ්…. කලුව ඉඦෝහ් ඉඦෝහ් ඉඦෝහ් ඉඦෝහ්”

විනාඩියක් යන්න කලිං බිංදුවාත්, කලුවාත්, බන්ටියාත් නගුටු වනමින් අපේ මිදුලට කඩාපාත් වන්නේය. එවිට ගෙයි ඉතිරුව ඇති හොදි මාලුපිනි ඇත්නං ඒවාද ඉතුරු කෑම පංගුවටම දමා අනා තුන්දෙනාට කොලපත් කෑලි තුනකට දමා දෙන බත් පංගු තුන විගසින් අතුරුදහන් වන්නේය. සමහර වෙලාවට බිංදුවා, කලුවා, බන්ටියා, හංකඩයා ආදී සියලු දෙනාම දුර ගමනක් ගිහිං ඇතිවිට හෝ කා වැටීම සඳහා වෙනත් බලු වැයික්කියකට  ගිහිං ඇති විටක අපි ඉතුරු වුනු කෑම සියල්ල අනා පිලිකන්නේ ගල උඩ විසාල බත්පතක් ගොඩගසන්නෙමු. එවිට කපුටෝද, දෙමලිච්චෝද, බට්ටිච්චෝද, ලේන්නුද, ආදී ගස් උඩ යන හැම සතෙක්ම ඇවිත් එයිං බඩ පුරවා ගන්නේය. එතනිං යන ගමං ලේනෙක්, දෙමලිච්චෙක් අල්ලාගන්නට එන සම්බෝල පූසාද, කං බාගයක් නැති පූසාද, ඉබාගාතේ යන තලගොයාද එයිම්ම බඩ පුරවා ගන්නේය. බිංදුවා හම්බුවෙන්නට අපේ ගෙදරට එන වෙනත් බලු නගුටෝද බින්දුවා නැති තැන ආගන්තුක සත්කාරයක් වශයෙං එතනිං බත්කටක් කා යන්නේය. ඒ හංදා අපි කාලා ඉතුරු වන කෑම වේලක් පැය දෙක තුනක් යද්දී අවසන් වන්නේය.
වළඳේ අඩියේ ඉතුරුවන් දංකුඩ ටික ගොඩ සතුන් කන්නේ නැත. ඒ හංදා අම්මා වලං ටික හෝදන්න දොලට ගෙනගිය විට වළඳ අඩියේ තියෙන දංකුඩ ටික හූරා දොලේ ගල්වැටියෙං පහලට දාන්නේ මාලුන්ට කන්නටය. කොස් දෙල් ආදිය උනත් ඒ විදිහය. බල්ලන්ට ඉඦෝ කිව්වා මෙන් මාළුන්ට වෙනිං යමක් කියා අඬගහන්නට උවමනා නැත. වතුරට මොකක් වැටුනත් ඒක වටේ රැස්වී ඒක කන්නට පුළුවන්දැයි බැලීම මාළුංගේ සිරිතය. තිත්තයෝ ඇරුණම ගල්පාඬින්ට නං අපේ කකුලක් උනත් මෙලෙකට අහුවුනොත් කෑලි කඩං කන්නේය. කන්න පුලුවං දෙයක් නං බඩ පිරෙනකං ඒක ගිල දැමීමටත්, කන්න බැරි දෙයක්නම් “මේක මොන මගුලක්දැ”යි කියා පුප්පාගෙන යන්නටත් මාලුන්ගේ දෙමව්පියෝ උන්ට උගන්වා ඇත. අන්තිමට ගෙදර බත් හැලියත් හොදි හැලියත් කුණුවන්නට ඉතුරු වන්නේ නැත.
කඩෙන් ගේන ඇඟිලි විස්කෝතු, බුල්ටෝ, බබානයිස්, ටොපි, ආදී කැවිලි නං ඉතුරු වෙන්නේම නැත. ඒ වුනත් අපේ නැන්දා පාංපිටිවලට කුරහං පිටි ඇඹින්දක් කලවං කර සීනි කළඳක් තරම් මුහු කර කැන්ද කොලේ ඔතා හැලප ලෙස වෙස් ගන්නා තම්බා එවන පාප්ප ගුලි, සීනි පිට්ටු ලෙස වෙස්ගන්වා එවන යන්තම් පැණි රහ හාල් පිටි ගොඩවල්, වැනි සමහර “බලු හත්බල්ලෙකුට  (dog 7 dog) කන්න බැරි“ කෑම ජාති බිංදුවාගේ හතුරෙක්ටවත් දෙන්නේ නැත. ඒවාගේ වෙලාවට එව්වා ඔතා ඇති කඩදහිය විතරක් හතරට නමා කුස්සියේ බට පැලැල්ලේ රඳවන අපි ඒ කෑම ජාතිය සාමාන්‍ය වේගයෙන් හෙලපල්ලට විසිකරමු. එවිට ඒ පිටිගුලිය හෙලපල්ලේ තේ පේලි දෙක තුනක් පසුකරගෙන ගොස් “සාස්“ කියා ගස් අතරට වැටෙන්නේය.
ඉඳ හිට ගෙදරට ලැබෙන ඉස්කෝතු පෙට්ටියක් ආදී දුර්ලභ කෑමක් නං බොහෝ වෙලාවට ඉතුරුවෙන්නේ නැත. හැබැයි මැලිබන් ලෙමන් පප් එකේ නං මැද ක්‍රීම් ටික හූරාගෙන කා දෙපැත්තෙ පියං දෙක බල්ලට දාන්නෙමු. මේ කොයිකත් දමා තියෙන සොපිං කවරේ බට පැලැල්ලටත්, ඔතා තියෙන බවුම්පේපර් කවරෙ මේසෙ කොලේ යටටත් එයිට අස්සෙං තියෙන කාඩ්බෝඩ් පෙට්ටිය ආයිමත් බට පැලැල්ලටත් දමා ඉතුරු ඉටි කවර කෑලි ටික සුබ මොහොතින් ලිපට දාන්නෙමු. එයිනුත් ඉස්කෝතු අහුරා තියෙන ඉටි අච්චුව අරගෙන තියාගන්නේ ඒකේ ඉස්කෝතු අහුරා තිබූ කුහර අස්සේ එව්වා මෙව්වා (මෙතනට අයිති වන්නේ මංචාඩි ඇට, පාට කෑලි, පැන්සල් කොට, පාරෙං අහුලං එන ඇන, පරණ සතේ දෙකේ කාසි, බොත්තං, ඉඳිකටු, හැට්ටකටු, මකන කෑලි, ඉටිපංදං කොට, පාරෙ වැටිල තියෙන සමහර අරුමෝසං කෑලි, හූනු බිත්තර පැකැට්ටෙකේ තියෙන හමුදාකාරයො, කුරුල්ලෝ, වාහන වගේ ඉටි සෙල්ලම් බඩු වගේ ජාතිය) අහුරලා මේසෙ උඩිං තියන්න පුළුවං හිංදාය. මාසෙකට සැරයක් ගේන කිරි පෙට්ටියේ ඇතුලෙ තියෙන ඉටිකවරේ අපේ තාත්තාට පොරෝජං වන්නේ බුලත්විට කන ජාති දැමීමටය. බුලත් කොල හතරක් පහකුත්, දුංකල ඉරු බාගෙකුත්, සිද්දාලේප කුප්පියකට පුරෝපු හුණු ටිකකුත් හතරට පැලූ පුවක් ගෙඩි දෙකක් විතරත් දැමූ වරුවකට සෑහෙන විට සලාකයක් වැස්සට නොතෙමී තියාගන්නට මේ කවරෙට පුළුවංය. කිරි පෙට්ටියෙං පත්තරවලිං කපාගත් පිංතූර අලවා හදාගන්නා පිංතූර රෝලක් දාන ටීවියෙකක් හදාගන්නටත් එහෙමත් නැත්තං පියසේන මාමා වෙසක්කෙකට හදනා වර්ගයේ කුප්පි ලාම්පුවෙං වැඩකරන තොරණක් හදාගන්නටත් පුළුවන.

ගෙදරිං අයිං කෙරෙන බැට්ටි කෑලි, කැඩිච්ච පනා, හිල් වෙච්ච හෝ පැලිච්ච බාජන, කැඩිච්ච ටෝච්, ආදී ගෙදර පාවිච්චියෙං අයිං කෙරෙන එක බඩුවක්වත් අහක යන්නේ නැත. අපි එව්වා සේරම අපේ සෙල්ලං ගෙවල්වලට ගන්නෙමු. ටෝච් එකේ මැද බටේ විතරක් තිබුනොත් ඒකෙන් අපිට ටෝච් එකේ සිට සෙල්ලං කෝච්චියක ඉස්සරහ ලයිට්ටෙක දක්වා ඕනෑම එකක් මවාගන්නට පුළුවන. අඩිය හිල්වෙච්ච බාජනේක උනත් සෙල්ලං බත යසට ඉදෙන්නේය. මේ බඩු නැතිවෙන්නේ තවත් කලක් ගිහිං බල්ලන් උස්සාගෙන යාමෙං හෝ අම්මා මිදුල අතුගානකොට

“ගේ වටේටම ගුබ්බෑයං අටෝල අතුගාන්න විදිහක් නෑ. මොන අටමංගල්ලද මංද මෙව්ව අස්සෙ”

කියා අපේ විලාප මැද්දේ අසරණ සෙල්ලං ගෙවල් බවුන්ඩේසම පිටිං මුලිං උදුරා හෙලපල්ලට විසිකිරීමෙන්ය. ඔය විදිහට ගෙදරි අයිං කෙරෙන සේරම බඩුමුට්ටු කාලයක් ගිහිං සෙල්ලං ගේ හරහා හෙලපල්ලට විසි වෙන්නේය. ඒවායෙනුත් සමහර රෝල් වෙන්නට උපං හපංකං ඇති බැට්ටි කෑලි වගේ ඒවා හෙලපල්ලත් පහුකරගෙන රත්නෙ බාප්පගේ කුඹුරටම යන්නේය. රත්නෙ බාප්පා ඊළඟ පාර කුඹුර පුරං කොටද්දී “ටං” කියා උදැල්ලේ වදින්නේ ඒවාය. කුස්සියෙං එදිනෙදා අහක්වෙන ජාතිත් යන්නේ මේ පාරෙං හෙලපල්ලටමය. මේ හිංදා අපේ ගෙදර හෙලපල්ලේ තියෙන තේ ගස්වලට මාස හය හතකට පාරක් පෝර දැම්මාම ඇතිය.

අපේ දෙවෙනි පුංචම්මා නං කිසිම දෙයක් අහක දාන්නේ නැත. ගෙදරට ගේන පත්තරයේ පටං කාඩ්බෝඩ් පෙට්ටි, ඉටිකවර ආදී හැමදේම එක පිලිවෙලකට එක්කහු කර මිටි බඳින්නේය. කිරිපිටි පෙට්ටි, විස්කෝතු කවර, ටොපි කොල, සිකරැට් ඊයං කොල, තෑගි ඔතන කොල ආදී පුදුමාකාර එකතුවක් ඒ ගෙදර ඇත්තේය. තව කාගේ හෝ ගෙදරකට පත්තර පලුවක ඔතා හෝ කවරෙක දමා මොනවා හෝ යවන්නේ නම් ඒ පත්තර පලුව හෝ කවරේ ගේන්නට හැතැක්ම බාගෙ හමාර ගෙවාගෙන පුංචම්මා ඒ ගෙදරට යන්නේය. බීම මූඩි, බීම බට, ටොපි කොල, ආදී ඒවායිං හැදූ එක එක සුකුරුත්තං ඒ ගෙදර සාලේ බිත්තිවල දකින්නට පුළුවන. ගෙදරින් කැඩී බිඳී අයිංවෙන විදුරු, බාජන ආදියටත් කොල කෑලි, පීන්තූර, පබුලු ආදිය අලවා අමුතුම ආකාරයේ ඇටවුම් හදා “ලස්සනට” සාලේ කැබිනට්, ටීපෝ ආදිය උඩ තියන්නට පුංචම්මා දක්සය. උන්දෑට එව්වාට මග පෙන්වන්නේ සිරිකත පත්තරෙන්ය. අපේ අතක් පයක් ඒ ගෙදර ටීපෝවක, කබඩ්ඩෙහෙක වැදුනොත් පෙරලෙන්නට මාන බලාගෙන ඉන්නා ඒ “අලංකාර” ද්‍රව්‍ය නිසා අපි ඒ ගෙදරට ඇතුල්වෙන්නේ ඉස්කෝලේ පින්සිබල්ගේ ඔපිස්සෙකට යන්නා හා සමානව පුදුමාකාර බයකින්ය. බැරිවෙලාවත් අපේ අතක් පයක් වැදී එයිං අලංකාර වස්තු දුසිමක්වත් බිම වැටී කැඩී ගියොත් පුංචම්මා සතියක පමණ ශෝක කාලයක් පවත්වමින් දෙවෙනි වරටත් කැඩී ගිය ඒ බඩුමුට්ටු වෙනුවෙං අඬා දොඩා වැලපෙන්නේය. ඉං පස්සේ ඒ දෙවෙනි මට්ටමේ සුංබුං ගොඩෙං කලින් තිවුනාටත් වඩා ‘අලංකාර’ වගේම හුළඟටත් ‘පෙරලෙන සුලු’ ලස්සන ජාති හදන්නේය. ඒ හංදා පුංචම්මා පවුලක් පන්සලක් උනායින් පස්සේ ගෙදරට ගෙනා වීදුරු බඩු සේරම තවමත් ගෙදර තියෙන්නේය.

අපේ ගෙදර වීදුරු බඩුවක් බිඳුනොත් ඒක අස් කරනකං ඉන්න බැරුව ඒක උඩිං එහා මෙහා යන්න ගිහිං කකුල කපාගන්නවා ඇරෙන්නට වෙනිං වැඩක් ගන්නට බැරිය. ඒ වගේ වෙලාවට ඉතුරු වෙච්ච ලොකුම කෑල්ල උඩට අනික් වීදුරු කටු ටිකත් පුරවා ඒ සේරම ගිහිං දමන්නේ වැසිකිලිවලටය. අපේ ගෙදර තිවුනේ වල වැසිකිලියක් හිංදා මේ වැඩේ ලේසිය. පෝච්චි වැසිකිලි තියෙන ගෙවල්වල වීදුරු කටු වැසිකිලියේ වලට  දාන්නට බැරි හංදා වැසිකිලියේ වහලෙ උඩ එව්වා ගොඩ ගහන්නේය.

අපේ ගමේ කුණු ප්‍රතිචක්‍රීයකරණයට උදව්වෙන්නේ පුස්ප නැන්දගේ මොන්ටිසෝරියයි. පුස්ප නැන්දා උන්හිටිගමන් මොන්ටිසෝරියේ ළමයින්ට නියෝග නිකුත් කරන්නේය.


“හෙට එනකොට එක්කෙනා බීම බට තුනකුයි පාට පාට ටොපි කොල විස්සකුයි ගේන්න ඕනි. තේරුණාද?”

ඒ වගේ වෙලාවට ළමයි සේරම


“ඔවූඌ”

කියන්නේය.

එදා හවසට මුළු ගමම එකම ජංජාලයක්ය. සමහර දෙමව්පියෝ බීම බට විස්සකුත් ටොපි කොල තුනකුයි හොයන විට තවත් සමහරු ටොපි කොල විතරක් හොයන්නේය. තව කොටසක් හොයන්නේ බීම බට විතරය. ළමයිංගේ ගනං මතක තියාගැනීම එහෙමය. ඒ කාලේ බීම බෝතලයක් බොනකොට බීම බටයක් දෙනවා ඇරෙන්නට පැකට් පිටිං විකුණන්නට බීම බට කඩවල්වල තිබුනේ නැත. කඩේක බීම බෝතලයක් විකිනෙන්නේ සතියකට හමාරකට සැරයක් හිංදා කඩ මිදුලේ බීම බටයක් දෙකකට වැඩියෙං තියෙන්නට විදිහක් නැත. ඒ හංදා බීම බට හොයන අය කඩේ මිදුලේ හොයා බලා බීම බට නැති වුනොත් මිදුල අතුගා කොලගොඩවල් ගිහිං දාන හෙලපල්ලට වෙනකම්ම යන්නේය. එතන කොලගොඩවල් හාරගෙන අවුස්සං කන රත්නෙ බාප්පගේ කුකුල් රංචුවත් කලුකුං ජෝඩුවත් “ෂෝ” කියා එළවා දමා කොල ගොඩවල් අවුස්ස අවුස්සා බීම බට හොයන්නේය. බීම බට විස්සක් හොයන ළමයාගේ අම්මා එතනට කඩා වැදුනොත් අනික් අයට ඉතුරුවක් වෙන්නේම නැත. සමහරු එතන පොලව පාදා හාරා බලන්නේ මැතිනිගෙ කාලෙ බීම බටයක්වත් තියේදැයි බලන්නටය. සමහර වෙලාවට අපේ ආච්චම්මා හෝඩුවාවල් දෙන්නේය.


“ගිය සුමානෙ මහතුල්ලෑ ගෙදෙට්ට බීම්බෝතලෙයක් ගිනිච්චා. ආං එහෙ ගියොත් සමහර විට ඒක ඉල්ලගත්තැහැකි.”

ආච්චි අම්මාගේ ඔත්තුවට ළමයිංගේ අම්මලා දුසිං ගානක් මහතුං මාමලගෙ ගෙදර යන්නේ එක බීම බටයක් ඉල්ලා ගන්නටය. ඒ වෙනකොට ඒක කලිං ආපු කෙනෙක් ඩැහැගෙන ගිහිං ඉවරය. මේ හංදා ළමයිංගේ අම්මලා නිකගොඩ හංදියේ දරුමසේන මාමගේ කඩේ පටං එගොඩහ ගොඩේ කරුණාවතී ඉස්කෝලෙ හාමිනේගේ කඩේ දක්වාම යන්නේ බීම බට එක්කහු කරන්නටය. සමහර අම්මලා රුපියල් තුනක් වියදං කරගෙන ටවුමට යන්නේ ටවුමේ කඩවල් ඉස්සරහ තියෙන බීම බට අහුලං එන්නටය. වැඩි වෙලාවක් යන්නට පෙර හදිසියේ සිහිමුර්ජා වෙච්ච ලෙඩෙක්ට බෙහෙතක් හදන්නටවත් ටොපි කොලයක් අහල ගං හතක නැති වන්නේය. කොහෙං හෝ හොයාගන්නා මේ බීම බටත්, ටොපි කොලත් මොන්ටිසෝරියට ගෙනගිය විට ඒ ටොපි කොල රැලි හිටින්නට නැමී තුනටියටත් පොඩි බීම බට කෑල්ලක් පලන්දාගෙන දෙකොන විහිදාගෙන නූලක එල්ලෙන්නේය. ඒවා සමනල්ලු බව පොඩි ළමයින්ට තේරුං කරන්නට පුස්ප නැංදාට සිද්දවෙන අතර ඒ ළමයිනුත් තමුංගේ අත්කම් නිර්මාණය ගෙදර අයට පෙන්වා එව්වා සමනල්ලු බව හය හතර නොදත් දෙමව්පියන්ට තේරුං කරන්නේය.

ඒ විදිහටම සමහර කාලවලදී නොයෙක් රූප, කාඩ්බෝඩ් පෙට්ටි, ආදී කඩදහි ජාතිද ගේන්නටද පුස්ප නැංදා කියන්නේය. එතකොට අපිත් එක්ක වැඩි කතාබහක් නැති අයත් අපේ ගෙදරට ඇවිත් චාටුවට කතා කර අපේ අම්මා බට පැලැල්ලේ පතුරු අතරේ හිරකරගෙන තියෙන කාඩ්බෝඩ් පෙට්ටි ඩැහැගෙන යන්නේය. මොන්ටිසෝරියට වේලාපු පොල් කුඩු ඕනෑ කී විට හොද්දට කිරි ටික මිරිකනකං බලා ඉඳලා පොල් රොඩු ටික ගෙනියන්නට අම්මලා එන්නේය.

මේ විදිහටම තව කෙනෙක් ප්‍රතිචක්‍රීකරණයට හවුල් වන්නේය. ඒ අවුරුද්දකට විතර සැරයක් පෝර කවරයක් අරගෙන එන තවත් මනුස්සයෙකි. එයා

“පරණ බෝතල්, ඇල්මේනියං එහෙම තියෙනවද”

කියා බොහොම සද්දෙට අහන්නේය. ගෙදර පිරිමියෙක් නොහිටියොත් බලෙම්ම වගේ තියෙන දෙයක් අරගෙන යන්නේය. අපේ ආච්චම්මාත් (මේ කියන්නේ තාත්තගෙ අම්මාය) මාත් හිටි දවසක එහෙම කඩා පැන්න මිනිහෙක්

“මොන රෙද්දකට මෙව්ව ගොඩගහං ඉන්නවද. ගේ වටේම සර්පයි බෝවෙනව. අනික්ගමන කාපිනං වෙදකමේ යන්න වෙනව.”

කියා අපිටත් බැණ අඬගසා අපේ පිලිකන්නේ තිවුණු වීදුරු බෝතල් සේරමත් කවරෙට දමාගෙන ආච්චම්මා වැසිකිලියට ගෙනියන ඇල්මේනියං කෝප්පෙත් පයිං පාගා තලා ඒ කවරෙටම දාගෙන ආච්චම්මාට රුපියල් එකයි හැත්ත පහක් දීලා ගියේ “මෙතන වැඩියත් එක්ක තියෙනවා” කියාගෙනය. ඒ මනුස්සයාම කරුණෙ මාමලගෙ පිලිකන්නේ තිවුණු බෝතල් ගොඩත් අරගෙන ගිහිං තිබුණේ ඒ අස්සේ හංගා තිබූ කසිප්පු ඉස්පීට් බෝතලෙත් එක්කමය.

පහුගිය අවුරුදු දෙක තුන ඇතුලත කුණු ගොඩවල් හිංදා රටේ ඇතිවුුනු කුණු ගොඩවල් දැක්කම හිතුනේ හැම ගෙදරකටම හෙලපල්ලක් වගේම සෙල්ලං ගෙයකුත් තියෙන්නට ඕනෑ බවය. සෙනසුරාදා ඉරිදා පන්ති නවත්තා ළමයි සෙල්ලං ගෙවල්වලට යොමුකරනවා වගේම සතියේ දවස්වල බඩේ අමාරු, දතේ අමාරු හැදී ගෙදර නවතින ළමයින්ටත් එදා දවසේ ඒ සෙල්ලං ගෙවල්වල සෙල්ලං කරන්න පුළුවං බව දෙමව්පියෝ අවබෝධ කරගන්නටත් ඕනාය. ඒ වගේම අපේ පුංචම්මා වගේ කැඩෙන බිඳෙන බඩුමුට්ටු ගේ ඇතුලෙම තියාගෙන ඉන්නට එව්වා නොයෙක් විදිහෙන් වෙස්ගන්වා “ලස්සනට තියන බඩු” බවට පත්කරන්නට පුළුවං ඇස්බැන්දුංකාරියන් තව වැඩිකරන්නටත් ඕනෑය. ඒ අතරම ගෙවල් මණ්ඩියට හත් අට දෙනෙක්ගෙන් යුතු බලු රංචුවක්, බලල් නරි කීප දෙනෙක් වගේම තලගොයි කීප දෙනෙකුත් ඇතිකරන්නටත් කටයුතු කරන්නට ඕනෑය. පුස්ප නැංදාගේ මොන්ටිසෝරිය වගේ පොල් කුඩු, තේ රොඩු, ටොපි කොළ, බීම බට, සිකරැට් කොට ආදී හැම දේකින්ම අත්කම් හදන්නට පුළුවං මොන්ටිසෝරි ඇති කරන්නට ඕනෑය. ගෙවල්වල උයන පිහන වලං, ඇතිලි, තාච්චි ආදිය හෝදන්නට සබං කොම්පැණිවල අනුග්‍රහයෙං තොටුපලවල් ඇති කර එව්වායේ මාලුද ඇති කරන්නට පුළුවන. එතකොට කඳුගහන්නට කුණක් ඉතුරු වන්නේ නැත.

%d bloggers like this: