Menu Close

දානේ….

මේ වෙසක් මාසේ පිං කරගන්න ඕනෑ. පිං කරන හොඳම ක්‍රමේ නං දාන දීම. ගෙදරක සාංඝික දානයක් දෙනවා කියන්නේ තව ඉඩමක් ඇරං ගෙදරක් හදන්න තරං වියදං යන වැඩක්. ඒ හංදා ගල් බාගයක් ගන්න තරං ගානකිං දානයක් දෙනහැටියි මේ කියල දෙන්න හදන්නෙ.

දානේ පටං ගන්නේ 

“අපි මේ මාසෙ පිනට වෙං කරපු සල්ලිඔලිං දානෙයක් දෙමුද අනේ?“

කියලා චූටිමැණීකේ අහන එකෙං. ආං එතකොට මං

“හා“ 

කියනවා. මේ වැඩේට ගැලපෙන දවස ඉරිදා. ඒ හංදා ඉරිදාට කලිං අවශ්‍ය දාන කලමනා ගෙනැත් තියාගන්න ඕනෑ. ඒ හංදා චූටි මැණිකේගෙ ප්‍රධානත්වයෙන් කුස්සියෙ පැවැත්වෙන සාකච්ඡාවෙන් මෙහෙම කියවෙනව.

“හාල් ගෙනාපුව තියෙනවනෙ. අර බාගෙට තම්බපු හාල් ජාතිය තාම ඉඳුල් කෙරුවෙ නෑනෙ. ඒක ගත්තැකි. එතකොට අර කංකුං මිටියත් තියෙනව පිජ්ජෙකේ. ඒක ඉන්න බලන්න පොඩ්ඩක්……………………….. ඔය ඉතිං සූකිරී කකුල අරෙහෙට ගන්නකො මට මේ කංකුං මිටිය තියෙද බලන්න දොර අරින්න. ඔන්න මං දන්නෑ නැට්ටහුවෙයි. මොකද්ද සුදු නෝනා මේ ඔයාගෙ ළමය කරන වැඩ………. මට මෙලව දෙයක් කරගන්න දෙන්නෑ….නේ…..  ආ මේ තියෙන්නෙ. ඒක හොඳයි. කෝ අහකට වෙන්න දොර වහන්න. අනේ ඕකෙ ඔයාට බලන්න දෙයක් නෑ සූ….කිරී… හරි එතකොට පොල්තෙල් තමයි වැඩේ. පොල්තෙල් කාලක්වත් නෑ. පොල්තෙල්නං ගේන්න වෙනව. එහෙනං අපි බත්තුයල, පපඩං බැදල, පරිප්පු තෙලට හදල, අල බැදල, ආ… තවෝන්නං මිරිසුත් බැදල. මේ කංකුං මිටියත් බැදල මේ… පිලී ජාති ඔලට සැමන්නෙකක් ගේමු. අර චීන සැමන්නෙක නං හරිනෑ. ඒව මේ අපේ සූකිරි කන්නෙත් නෑ, සුදු නෝන කන්නෙත් නෑ. ඒ ටික හදල දෙමු නේද? ඇතිනෙ. ඔන්න මං කිව්ව වෙනස් කරන්න තියෙනං කියන්න“

මං එතකොට ‘හා එහෙම හොඳා‘ කියනවා. ඊට පස්සෙ ඕක දෙන්නටම අමතක වෙලා යනව. ආයිමත් මතක් වෙන්නෙ සෙනසුරාදා හවස හතරට විතර.

“මේ.. ඇහුනද? ඈ… ඕකම ඔබ ඔබා ඉන්නෙ ඔය පෝන්නෙක මං දැං හංගනව කොට්ටෙයට. මේ අහන්නකො. හෙට දානෙයක් දෙමු කියල කතාඋනා නේද? බඩු ගේන්නැද්ද?“

අන්න එතකොට මං උඩ විසිවෙලා ඇහැරෙනව.

“අප්පට සිරි.“

“මට හොඳ වෙලාවට මතක්කුනේ. එහෙනං දැම්ම ගිහිං බඩුටික අරං එන්න. තම්බියෑ කඩෙං ඇරං එන්න. ඒකෙ ගානාඩුයි. ඉන්න මං තුණ්ඩුවක් ලියා දෙන්න“

ඒ තුණ්ඩුවත් අරං ටවුමට ගිහිං බයිසිකලේ කොහේ හරි ඉඩ ඇති තැනක නවත්තල ‘අසුවල් පුපර් මාට්‘ එකට ගිහිං බඩුටික ගන්නව. ආං එතකොට කෝල් එකක් එනව.

“අනේ මට ඔය කුණ්ඩුවෙ ලියන්න බැරි උනා. කුන්දු මිටියකුත් ගේන්න. සැමන්නොලට කුන්දු දාන්නෝන.“

එතකොට මං ආයිමත් “හා“ කියල කුරුඳු මිටියක් සාක්කුවට දාගෙන පෝන්නෙක බඩු කූඩෙට දානව. ඊළඟට පපඩං පැකට් එක එක ජාතිය අතට අරං ඒ එක එක ජාතියෙ පපඩං රවුං කීයක් තියෙනවද කියල කවරෙට පිටිං ගනං කරකර ඉන්නකොට ආයිමත් ඔන්න පෝන්නෙක වදිනව.

අවිඤ්ඤානිකව සාක්කුවට අතදාල පෝන්නෙක එලියට ගන්න බැලුවට සාක්කුවෙ තියෙන්නෙ ඉටිකවරයක්. එලියට ඇදල ගත්තම කුරුඳු පොතු පැකට්ටක. එතකොට කොහෙද බොලේ පෝන්නෙක කියල හොයද්දි ඒක කූඩෙ ඇතුලෙ පරිප්පු කවරෙට යටවෙලා හුස්ම හිරවෙලා. ඒක අස්සෙ ඉඳං එඩ්වඩ් මායා කෑ ගහනව.

“අතිකනා හම්මේකිට්මයාට්…නීක්කි නිකිනිං නිකිනිං නිකිනිං නාක්“


ආන්න එතකොට මං කුරුඳු පැකට්ටෙක කූඩෙට දාලා කූඩෙං පෝන්නෙක අතට අරං “හලෝ“ කියනව.

“අනේ මේ.. ඔයා ගාව දානෙට වෙංකරපු සල්ලි ඇර තව සල්ලි තියෙද“

ඒකට “ඔව්“ කිව්වහම

“අනේ එහෙනං එනගමං පාං ගෙඩ්ඩක් ගේන්නකො. සූකිරිටයි සුදුනෝනටයි බනිස් ගෙඩ්ඩකුත් ගේන්න හොන්ද“

ඒකටත් “හා“ කියල පෝන්නෙක සාක්කුවට දාගන්නව. මෙතනිං ගන්න බඩු ටික අරගෙන ඊළගට බේකරියට ගිහිං පානුයි බනිසුයි අරගෙන සිරිපාලගෙ කඩේ ලගිං පුස්තකාල පාරට හැරෙනකොටම අදුරන කවුරු හරි හම්බුවෙනව.

“ආ.. සුරාමාතය කොහෙද මේ අතිං කටිං එල්ලගෙන“

“ආ.. නෑ.. මේ බඩු ඩිංගක් ඇරං යන්නාව තිලකෙ. අද මොකක් වැඩේ?“

“මොකොවහ් නෑ ඉතිං. ඔය පොඩි පොඩි මොනව හරි තමා“

ආං එහෙම කයිවාරුවක් ගහගෙන ඉදල 

“මයියන්නං තිලකෙ“

කියල එන්න එනකොට එයා

“හෙල්මට්ටෙක අතේ මොකෝ. කෝ බයිසියලේ?“

කියල අහනව. ආං එතකොට මට මතක් වෙනව බයිසිකලේනෙ ආවෙ කියල. ඉං පස්සෙ ආපහු ගිහිං බසාර්රෙක දිගේ පහලට ගිහං දෙතුං පාරක් පහල වීදියෙ එහාට මෙහාට ඇවිද්දහම අලුත්ම ඩොල්පින් වෑන් එකකුයි කෝටියක් විතර වටින, යංතං හීරුනත් පේන තරමෙ දිලිසෙන කාර් එකකුයි අතරෙ ගැවෙන නොගෑවෙන තරමිං අඩි එකහමාරක විතර පලල තීරුවක හිරවෙලා ඉන්න බයිසිකලේ හොයාගන්න පුලුවං. ඉං පස්සෙ තියෙන්නෙ අර රටක් වටින වාහන දෙකේ බයිසිකලේවත්, බඩු මලු දෙකවත් නොගෑවෙන්න බොහොම වැර වෑයමෙං පරිස්සමෙං මිලි මීටරෙං මිලි මීටරේට හතර වටේ බල බලා බයිසිකලේ එතනිං එලියට ගන්න එක. කපීර් යානාවකට වඩා ආරක්ෂක උපක්‍රම හයිකරල තියෙන ඔය වාහනේකට වෙනිං වාහනේක හුස්ම වැදුනත් අර වාරියපොල ලමිස්සි වගේ සයිරන් එක ගහනව නෙවැ. විනාඩි දහයක් විතර මහන්සි වෙලා ඒ මර උගුලෙං බයිසිකලේ එලියට ගත්ත ගමං අර දෙපැත්තෙම තිවුණ රටක් වටින වාහන දෙකමත් යන්න යනව. ආං එතකොට මොහිදීන් බෙග් මාස්ටර් කියන සිංදුවක් මතක් වෙනව. 

“එමවිට පවසනු මුවින් ඔබේ…. මුංගෙ #%@6 %^$&“

පහල වීදිය දිගේ දෙපැත්තටම වාහන යන්න බැරි හංදා ඊළඟට එන හතරමං හන්දිය වෙනකං ඉස්සරහට ගිහිං ආපහු උඩහට නැත්තං පහලට හරෝගෙන තමයි ගෙදර එන්න වෙන්නෙ. එහෙම ගෙදර ආවහම 

“අනේ හැබෑට ඔයා බනිස් පුච්චනකං හිටියද“

කියලා පිළිගැනීමක් ලැබෙනවා. 

දැං ඉඳං මෙතන පිං අතේ වැඩක් සහසුද්දෙම්ම කෙරෙන්න යන වග සකල ලෝක වාසී සියළුම බූතයන්ට, යක්කුන්ට, පෙරේතයන්ට, බාල්දි, තොප්පි තොරොට්ටං වලට පේන හිංද අපි බොහොම පරිස්සං වෙන්න ඕනැ. ඒ කියන්නෙ එතන ඉඳං සේරම දේවල් සිද්ද වෙන්නෙ අපිට හුලහට හිටින්න. එව්වා ඉදිරියෙදි විස්තර කෙරෙනවා.

පහුවදා ඉරිදා හිමිදිරි පාන්දර හතහමාරට විතර ඇහැරිච්චි ගමං මං කොට්ටෙ යටිං ටෙලිපෝන් එක අරං ඒකෙ තිරෙං වෙලාව බලල 

“හුටාපරිජාලං හාමාරයි වෙලාව. දානෙ උයන්නත් තියෙනව නේද?“

කියලා බිරුසන් දෙනව. එතකොට චූටි මැණිකෙ 

“ඇයි අනේ කෑගහන්නෙ සූකිරියා මොකක් හරි ඇඟට පෙල්ලගෙනද? ඈයනේ.. කියන්නකො“

කියල බයවෙලා අහනවා. ආං එතකොට තලෙයා තාමත් නකුට කටේ ගහගෙන තැටිය උඩ නිදාගෙන ඉන්න වගත් උට ආංතරාවක් නැති වගත් දැං හතහමාරත් පහුවෙලා හිංදා දානෙ වියන්න පරක්කු වෙන බවත් කිව්වහම,

“ආ… ඒකට ඒ හැටි වෙලා යන්නෑ. ඔයාට තියෙන්නෙ පොල්ටික ගාල කොල්ටික කපල සැමන්ටිං එක කඩල දෙන්න ඉතරයි. මං ඉතුරු ටික කරන්නං. ආ… කොල කපන්නත් නෑනෙ. කංකුංනං මට කැපියැහැකි.“

කියලා උත්තර ලැබෙනවා. 

වෙනදට උදේට දොර ඇරපු ගමං දඩාවතේ යන බලල්ලු දෙන්නා දානෙට සම්මාදං වෙන්න ඕනැ හංදා එදා දවසේ කොහෙවත් නොයා ගෙදර රැඳෙනවා. ඒ කියන්නේ හරියටම කුස්සිය මැද වලිග දෙකත් එලාගෙන ඉඳගන්නවා. එතකොට කුස්සියෙ ඇවිදින හැම අඩියක්ම පරිස්සමට අඩිය තියන්න වෙනවා. නැත්නං “ඥෑහුග්“ කියන සද්දෙත් එක්ක මොකක් හෝ බලල් අවයවයක් අපිට පෑගෙනවා. ඒ හංදා හාල්මැස්සො, චොකලට් විස්කෝතු, කිරි ආදී නොයෙක් කප්පම් දීලා බලල්ලු දෙන්නව පිජ්ජෙක උඩට ගාල් කරගන්න ඕනි.

ගෙදර තියෙන බත් උයන්නාව (Rice Cooker) පොඩි හංදා බත් උයන්න වෙන්නෙ දෙපාරකට. ඒ අතරෙ 
“ඔයා මේ කොල මිටිය සුද්ද කොරන්නකො“

කියලා කංකුං මිටියක් එක්ක ඇතුල්පතක් අතට ලැබෙනව. කංකුංවල ඉදිච්චි කොල, මෝරච්ච කොටස් එහෙම බිමට දාද්දි එව්වා මොනවදැයි බලන්න බලල්ලු දෙන්නට ඕනැ වෙනව. ඉතිං උං දෙන්නා පිජ්ජෙකෙං බිමට පනිනව. ඔඩොක්කුවෙ තියෙන ජාතිය මොකක්දැයි බලන්න තලයා කලිසමෙත් එල්ලෙනවා. එතකොට

“අපෝයි…. මේකා මාව හීරුවා….“

කියලා බිරුසන් දුන්නහම

“ඔයාට ඉතිං ඔය පූසව පේන්න බෑනෙ. උට වෙනස්කංමයි කරන්නෙ.“

කියලා උත්තර ලැබෙනවා. කොල ටික සුද්ද කලාට පස්සෙ බලල්ලු දෙන්නා අරං පිජ්ජෙක උඩිං තියලා ආයිමත් අත හෝදගෙන පොල් ගාන්න ඕනැ. මේක දානයක් හිංදා අලුත් පොල් ගෙඩියක් බිඳලා ගන්න ඕනැ. ඒ කියන්නෙ කලිං දවසෙ ඉතුරු පොල් බෑය ගන්නෙ නෑ. දැං බිඳින පොල් ගෙඩියෙ වතුර ටිකත් සින්ක් එකටම හලලා අහක දානව මිසක් බොන්න හොඳ නෑ. පොල් බෑ දෙක පැත්තක තියලා හිරමනේ හයිකරපු මේසෙ ළඟ තියෙන පුටුව මේසෙ ඉඳන් බලල් පැනුමකට වඩා දුරින් තියන්න ඕනෑ. ඉං පස්සෙ හිරමන තලේ ගලවලා අරං හෝදලා ආපහු හිරමනේට හයි කරන්න ඕනෑ. ඉං පස්සෙ පොල් බෑය හිරමනේට තියලා වට දෙකක් කරකවනකොටම “දඩිස් තොස්“ කියලා බලල්ලු දෙන්නා පිජ්ජෙකෙං බිමට පැනලා පුටුව උඩට නගින්නෙ එතනිං මේසෙට පනින්න බලාගෙන. ඒ හංදා තමයි පුටුව බලල් පැනුමකට වඩා දුරකින් තියන්නෙ. එතකොට බලලා පුටුවෙ ඉඳං මේසෙට කිට්ටුම කෙලවරට ඇවිල්ලා බලල් අණ්ඩ දික්කරලා මේසෙට පනින්න දුර වැඩි බව දැනගෙන උද්ඝෝෂනේ පටං ගන්නව. එතකොට කුස්සියෙං ඇහෙන ගාලගෝට්ටිය මේ වගෙයි.

ඒ වුනාට බලල්ලුන්ට මේ ගාන පොල් රැලක්වත් දෙන්න හොද නෑ. පොල් ටික ගාලා ඉවරවෙලා එතනිං අහකට ගනිද්දි මළගෙදරක මිනිය උස්සන වෙලාවට ගෑනු අය විලාප තියනව වගේ බලල්ලු දෙන්නා කෑ ගහනව. එතකොට


“අනේ අර ඊයෙ ඉතුරු පොල් බෑයෙං ටිකක් මේ දෙන්නට ගාල දෙන්න. පවුනෙ“

කියලා උපදෙස් ලැබෙනවා. එතකොට ආයිමත් හිරමනේ පිහදාලා අරං බලලුන්ට වෙනම පොල් ගාලා දෙන්න ඕනැ. එයිං පස්සෙ ආපහු බලල්ලු දෙන්නා පිජ්ජෙක උඩිං තියල අතහෝදගන්නව. මේ වෙනකොට අල තැම්බිලා බත ඉදිලා. චූටි මැණිකෙ පරිප්පු හොද්දක් එක්ක ඔට්ටු වෙද්දිමං තැම්බුණු අල ටික සුද්ද කරනව. කොල ටිකත් කපල දෙනව. ඊළඟට තමයි බැරෑරුම් අවස්ථාව වෙන සැමන්ටින් කැඩිල්ල යෙදෙන්නෙ. මෙතනදි මුලිම්ම බලල්ලු දෙන්නව කුස්සියෙන් එළියට දාලා කුස්සියෙ දොර තද වෙන්න වහගන්න ඕනි. ඉං පස්සෙ මිටියයි වප්පිහියයි අරගෙන පිහියෙ තුඩ ටින් එකේ පියනෙ දාරෙට තියලා පිහියට මිටියෙං ගහන්න ඕනැ. මේ විදිහට මිටි පාරවල් දෙකක් වදිද්දි කුස්සියෙං පිට ඉන්න බලල්ලු දෙන්නට සත්‍යාවබෝධය ලැබෙනවා. එතකොට බලල්ලු දෙන්නා ස්පාඤ්ඤ බාසාවෙ තියෙන සේරම නරක වචන කියන ගමං “දොර ඇරපියාව්“ කියලා කුස්සියෙ දොරේ එලිය පැත්තේ දොර බෝලෙ එල්ලෙනව. මෙතනදි ඉඳුල් නොකිරීම කියන සිල් පදය අතාරින්න අපිට සිද්දවෙනව. 

“පව්නෙ නේද?“

කියලා කල්පනා කරලා සැමන් ටින් එකේ තියෙන මහා වතුර කඳත් එක්කම සැමන් කුට්ටියකුත් දෙකට කඩලා බලල් පිඟං දෙකට දාලා බලල්ලු දෙන්නට දෙනවා. ඉං පස්සෙ තියෙන්නෙ කෑම ඔතන්න කොල කැපිල්ල. මේකට කෙක්කක් තියෙන රිටකුත් පිහියකුත් ඕනැ වෙනවා. කෙක්ක පටලවලා පාත් කරන කෙහෙල් අත්තෙ මැද පීල්ලෙ තියෙන වතුර ටික ඇඟට හැලෙන්නෙ නැතිවෙන්න අගිස්ස කපාගෙන අත්ත අතාරිනවා. සමහර කෙහෙල් අතු නං උඩ පැනලා දෙන එක පිහි පාරෙං කැපෙනවා. කාලයක් තිස්සෙ මෙහෙම කෙහෙල් අතු කපන හංදා අපේ වත්තෙ කෙහෙල් ගස් සේරම අතු බාග තියෙන ගස්.

මේ විදිහට කෙහෙල් අතු කපද්දි අල්ලපු වතුවල අය අපිට ආභරණ විදිහට තෑගි දීපු බෝතල් කටු, කම්බි, යකඩ ඇන එහෙමත් කකුලෙ පළඳගන්න වාසනාව ලැබෙනව. මෙහෙම කපාගන්න කෙහෙල් කොල ඉරෙන්නෙ නැතුව පරිස්සං කරන එක ලේසි නෑ. ඒ හංදා කොල හයක වැඩේට කොල දහයක් විතර කපන්න ඕනෑ. ඒ කෙහෙල් අගිස් ගෙනත් ඒවයෙ දෙපැත්තෙම විම් සබං ගාල හෝදද්දි තවත් කොල එකක් දෙකක් ඉරෙනවා. 


කෙහෙල් කොල


මේ වෙනකොට උයලා ඉවරයි. බලල්ලු දෙන්නත් තමුංගෙ කප්පම අරගෙන දොරකඩට වෙලා මූන අතපය හෝදනවා. ඊළඟට පොල් කටු හත අටක් තලලා අරගෙන දර ලිපේ විසාල ගිනි ජාලාවක් පත්තු කරගන්නවා. ඒ ගින්දරට කෙහෙල් කොලේ යටි පැත්ත අල්ලලා තවාගන්නවා. මෙතනදිත් අඩුම වසයෙන් එක කෙහෙල් කොලයක්වත් හරියටම මැදකිං ඉරිල යනවා. සමහර වෙලාවට කෙහෙල් කොල තවලා ඉවර වෙද්දි ආයෙමත් කොල කපන්න යන්නත් වෙනවා.

බත් මුල් බැඳෙන්නෙ මේ විදිහට. 




මෙතනදි පපඩං, මිරිස් එහෙම වෙනම කවරෙකට දාල තියන්නෙ එව්වා පොඟනවට.



මෙහෙම බැඳෙන බත් මුල් සේරම කවරෙක අඩුක් කරගන්නවා. 






යාචකයින්ගෙ ප්‍රධාන අරමුණ සල්ලිනෙ. ඒ කාටත් සතුටු හිතෙන්නෙ සල්ලි ලැබුණහම. ඒ හංදා බැඳිච්චි බත් මුල් ගානටම සල්ලිත් ගන්න ඕනැ.


මේවා බෙදන්න යන වැඩේට හොඳම වාහනේ මොටෝ සයිකලේ. නිතර බයිසිකලේට නගින්න බහින්න වෙන හංදා මේ ගමනට දෙන්නටම ගැලපෙන ඇඳුම කලිසම. 


හැබැයි කමිසෙට සාක්කුවක් තියෙන්නම ඕනැ. කලිං කියපු සල්ලි කොල ටික එක එකක් වෙන වෙනම නවලා ඒ සාක්කුවෙ දාගන්න ඕනි. ඊළඟට පාරෙ යන වාහනවලින් අතුරු ආන්තරාවක් නොවෙන්න කියලා හිතාගෙන සුභ මොහොතින් පාරට බහින්නයි තියෙන්නෙ. පළවෙනියටම යන්නෙ සේනානායක පිට්ටනියෙ කෙලවරට. ඒ යන ඩිංගට වමෙං ඉස්සර කරන බයිසිකල්, මූනට පනින බස්, ඇඟට කපන ත්‍රීවිල් වල අයට එහෙම මොනවත් කියන්න නරකයි. ඒ ගමංම කච්චේරිය ඉස්සරහ ඉන්න යාචක පිරිසත් ගනං කරගෙන යන්න ඕනැ.  පිට්ටනියෙ අයිනෙ අතුරු පාරෙං නීත්‍යානුකූල විදිහට බයිසිකලේ නවත්තලා ආපහු ප්‍රධාන පාරට ආවම පලවෙනි දානෙ ලබන්නා පාර අයිනෙ ඉන්නවා. එයාට බත් පාර්සලයක් දුන්නම


“අපෙයම්මට ගීං දෙන්න තව පාර්සලයක් දෙනවද නෝනා“

කියලා එයා චූටි මැණිකෙගෙං අහනව. එයාට පාර්සල් දෙකක් දීලා සල්ලිත් දීලා ආපහු හැරෙනවා. ඉං පස්සෙ එයා ඒක කනවද, විසිකරනවද, විකුණනවද කියන එක හොයන්න හොඳ නෑ. ඒ මිනිස්සුංගෙ පොටෝ ගහලා ෆේස්බුක් එකේ එහෙම දාන එකත් ඒ තරං හොඳ දෙයක් නෙවෙයි. වට පිටේ ඉන්න මිනිස්සු අපි දිහා අමුතු විදිහට බලන එකවත් බලන්න හොඳ නෑ. ආපහු අතුරු පාරෙං බයිසිකලේ අරගෙන කච්චේරිය ඉස්සරහ ඉන්න යාචක පිරිස හොයාගෙන යනවා. එතන වාහන නවත්තන්න තහනං හින්දා බයිසිකලේ පුස්තකාලෙ ඉස්සරහ දාලා කහ ඉරක් හොයාගෙන තව ටික දුරක් ගිහිල්ලා එතනිං පාර පැනලා පාරෙ අනෙක් පැත්ත දිගේ කච්චේරිය ගාවට ගිහිං එතන ඉන්න දෙතුන් දෙනාටත් දානෙ දීලා ආපහු කහ ඉර හොයාගෙන ඇවිත් පාර පැනලා බයිසිකලේ තියෙන තැනට ගිහිං ඒකෙ නැගිලා මුතියංගණය පන්සල ගාවට යනවා. එතනත් කඩ ලෑලි ටික පහුකරලා එහාට ගිහිං ඉඩ තියෙන තැනක බයිසිකලේ නවත්තල ඇවිත් පන්සල ඉස්සරහ ඉන්න දෙන්නට ඉතුරු පාර්සල් දෙකත් සල්ලිත් දෙනවා. සමහර වෙලාවට කට්ටිය වැඩිවෙලා කෑම පාර්සල් මදිවෙනවා. එතකොට ඉතිරි අයට කෑම කඩෙං ගන්න කියලා සල්ලි දෙනවා. ආපහු හැරෙනකොට ලොතරැයිකාරයා.

“පිං කරගෙන යන ගමං වාසනාව උරගා බලන්න.“

කියලා ටිකට් පොතක් අපේ ඇඟේ ගහන්න හදනවා. ඒකට අහුවෙන්නෙ නැතුව අපි ආපහු ගෙදර එනවා. එතකොට උදේ දහයත් පහුවෙලා. ඊළඟට පොලේ යන්න තියෙන හංදා බයිසිකලේ මිදුලෙම නවත්තලා බඩගින්නේ දියවෙන්න යන බඩට මොනව හරි දාගන්න කුස්සියට යනවා. එතකොට කුස්සියෙං එලියෙ ඉඳං චියනයි, බෑණයි “ඥියව්“ කියනවා. 

“මට නං දැන් සැමන් කන්න බෑ“

චූටි මැණිකෙ කියනවා.

“මටත් බෑ වගේ අනේ“

මාත් කියනවා. අපි දෙන්නට දෙන්නා එහෙම රැවටිලා

“එහෙනං ඔය ඇතිලියෙ ඉතුරු ටික අනලා අර දෙන්නට දෙමු“

කියල තීරණය කරගන්නවා. ඒ විදිහටම ඒ දානෙ පංගුවත් හදලා දෙකට බෙදලා කොල දෙකකට දාලා රණ්ඩු කර නොගන්නා දුරකින් තියලා චියනාටත්, බෑණටත් දෙනවා. ඒ දෙන්නා “ලාබු ලාබු“ කියලා තමුංගෙ කොටස ඉටුකරද්දි අපි දෙන්නත් ඉතුරු හරියක් බඩට දාගෙන පොලේ යනවා. එදා හවසට පන්සලට ගිහිං මල් පහන් පූජා කරලා බුදුන් වැඳලා පිං අනුමෝදන් කරලා දානෙ අවසන් කරනවා.

****************************************************
%d bloggers like this: