Menu Close

ගුවන් විදුලිය හෙවත් Air Electricity – 2

රේඩිවේක ආයිමත් කට අරින්නෙ රෑට හතට විතර. තාත්තා ගෙදර ඇවිත් එයාගෙ ධර්ම දේසනාව පටං අරගෙන ටිකක් වෙලාවක් ගියාට පස්සෙ හදිස්සියෙම
“ර්ර්රංග…. අද සේඩිවේකෙ නාට්ටි තියෙනවද?”
කියල අහනව.
“ඇයියද මුවම්පැලැස්ස තියෙනොවනෙ”
මං උත්තර දෙනව.
“කීයටද් තියෙන්නෙ ක්හ්ං”
“දැම්පටං ඇරං ඇති”
තාත්තා තමුංගෙ කට වහල රේඩිවේක දානව.

“ටික්”
ඊළඟට ලොකු රවුම කරකෝන ගමං පීකරේ කිට්ටුවට කන දික්කරනව. ආයිමත් චිමිනි ලාම්පුව රේඩිවේකෙ කිට්ටුවට අල්ලල මීටරේ කටුව දිහා බලනව. මීටරේ එක කොනක ඉඳං අනික් කොනට යනකං ලොකු රෝදෙ කීප සැරයක්ම කරකැව්වට මුවම්පැලැස්ස තියෙන සේවෙ අහුවෙන්නෑ. ඒ ගමන රේඩිවේක බැනුං අහනව.
“මේ බඩකැවුත්ත ඒගාන අහුවෙන්නෑ.”
තාත්තා ඒකට වෙදකං කරන්න පටං ගන්නව. මේකට පළවෙනියටම කරන්නෙ ගොඩ වෙදකං. අත්බෙහෙත් හැටියට ඒරියල්ලෙක පුළුවං තරං උසට දිගාරිනව. ඊළඟට ඒරියල් එකට ගෙදර තියෙන තරමක් කම්බි හොයල අමුණල එක කොනක් ජනේලෙං එලියට දානව. නැත්තං පුවක් කපන පිහියෙ මුවහත පැත්ත ඒරියල්ලෙකට ගාවනව. නැත්තං රේඩිවේක එක එක අතට හරෝල බලනව. මුනිං අතට තියනව. රේඩිවේක වටේ එක එක තැංවලට තට්ටු කරනව. ඇල කරනව. ඒත් මේ කිසිම අත්බෙහෙතකිං මුවම්පැලැස්ස තියෙන සේවෙ අහුවෙන්නෑ. ඒ හිංද තාත්තා බටහිර වෙදකමට යොමුවෙනව.
මේ ඕයි”
තාත්තා අම්මට කතා කරනව.
“ඕ”
“අර කෙල්ලගෙ ඕඩිකොලොං බෝතලේ දෙනොව මෙහෙ”
අම්මා නංගිගෙ ඕඩිකොලොං බෝතලේ තාත්තට දෙනව. තාත්ත රේඩිවේක මේසෙ උඩ උඩුබැලි අතට හරෝල තියල විට වට්ටියෙ තියෙන පිහිය ඇරං ලයින් කඩන පොඩි රවුමයි, අඬ අඩුවැඩි කරන රවුමයි දෙකම යටිං පිහිය තලේ දාලා උස්සලා ඒ රවුං දෙකම ගලෝනව. ඒ රවුං දෙක උඩ පැනල මේසෙ දිගේ රෝල් වෙනව. මං ඒ දෙක අල්ල ගන්නව. ඊළඟට ඒ රවුං දෙක ගලෝපු තැන යටිං තියෙන කූරු දෙක දිගේ හොඳට යටට බහින්න ඕඩිකොලොං දානව. දාල පිඹිනව. ආයිමත් රවුං දෙක හයිකරනව. ඉං පස්සෙ ඒ දෙකම හත් අට පාරක් දෙපැත්තට කරකෝනව.
“ටිට් ටහ් ටිට් ටහ් ටිට් ටහ් ටිට් ටහ් ටිට් ටහ්”

“යාහුප් බාහුප් කාඋප් යඋප් හෙප් හොප්”
එතකොට රේඩිවේකත් තමුංගෙ රවුං කරකැවෙන හැටියට බහුබූත කියනව. ඉං පස්සෙ තාත්තා රේඩිවේක මුනිං අතට තියලා රේඩිවේකෙ පස්ස පැත්තෙ පියන අරිනව. බැට්ටි බටෙත් ගලෝනව. එතකොට රේඩිවේක අස්සෙ පදිංචි වෙලා ඉන්න කැරපොත්තො එහෙමෙහෙ දුවනව. තාත්තා ගුරුලේත්තුවෙ තියෙන දුංකල ගුලිය ලිහල දුංකල නැටි කෑල්ලක් අරං ඒකෙං කැරපොත්තංව එළියට ඇදල දානව. ඉං පස්සෙ සේවා අල්ලන රවුමෙ යටි පැත්ත කියල හිතෙන තැනටයි තවත් කොහෙද අහුමුළු දෙක තුනකටයි ඕඩිකොලොං දාල පිඹිනව. ආපහු බැට්ටි බටේ හයිකරල රේඩිවේක නැගිට්ටෝල අරගෙන අතට අහුවෙන ලොකු පොඩි රවුං සේරම හත් අට වතාවක් දෙපැත්තට කරකැව්වට පස්සෙ ඒ වෙදකමත් ඉවර වෙනව. සමහර දවස්වලට ඒ වෙදකමත් හරියන්නෙ නැතුවහම තාත්තා බොහොම දරුණු තීරණයක් අරගෙන

“මේකෙ රවුං මලකඩ අල්ලල.”

කියලා ඕඩිකොලොං වෙනුවට කුප්පි ලාම්පුවෙ තියෙන ලාම්පුතෙල් ටිකක් රේඩිවේකෙ ඒ තැංවලට දානව.

ඔය සේරම කරලා යංතං සේවෙ අල්ලගෙන බලනකොට නාට්ටියෙ අන්තිම කොටහ. නැත්තං නාට්ටිය ඉවර වෙලා අන්තිමට නිවේදකය 
“ලබන සතියේත් මේ වේලාවටම ඒ බවර් සහ සමාගම ඔබ වෙතට ගෙන එයි… ටනනං ටනනං ටනනං ටනනං ටට්ටා ආාාාා …. මුවංං   පැලැස්ස….”
කියල කියනව. ආං එතකොට අපේ තාත්තට යකා වැහෙනව.

“ඉඳකිං රේද්ද… මේ කැවුතුකැටිය”
කියලා රේඩිවේක බිම දාලා ඇඳයට්ට විසිවෙන්න පයිං එකක් ගහනව. ඒ වෙලාවට බැට්ටි බටේ පැන්නොත් රේඩිවේකෙ සද්දෙ නවතිනව. එහෙම නැත්තං රේඩිවේක තාත්තට ඔලොක්කුවට වගේ ඇඳයට ඉඳං දෙමළ සිංදුවක් කියනව.

“ඩඟර පටං ඩඟර පටං..ටං ටං ටං ටටං ටටං. ආඩාාා……. අඩේ …… පූඩා…..”
ඒ වෙලාවට මං කොස්ස ඇඳ යට්ට දාලා රේඩිවේක ඇදල අරං ඒකෙ සද්දෙ වහනව.
මුවම්පැලැස්ස ඇරුණම ආයිත් තිවුනෙ “රහස් පරීක්ෂක නාට්ටිය” කියල එකක්. කඩිගුලක් උඩ ඉඳගත්ත කෙනෙක් උඩ පැනල පස්ස බදාගෙන කෑ ගහනව වගේ බොහොම බයානක සද්දයක් ඒ නාට්ටියෙ මැද හරියෙ දාන හිංදා මං ඒක අහන්න බයයි. ඒකෙ තියෙන්නෙත් බය හිතෙන කතා. ඒ බය හිතෙන දේවල් සේරම අහං ඉඳල මං රෑට දොට්ට යන්නෙ ඇස් දිස්ටි මානෙ තියෙන හැම ගහක් කොලකටම ටෝච්චෙක අල්ලල ඒ කොයියම්ම එහෙකවත් හොල්මනක්වත් ඇටරැකිල්ලක්වත් ලේ පෙරාගත්ත ගෑනියෙක්වත් නෑ කියල සහ සුද්දෙම්ම දැනගෙන. ඒත් අමතර ආරස්සාවට අම්මත් මගෙ පිටිපස්සෙම්ම ඉන්න ඕනි. 
මේ රේඩිවේක කියන භාණ්ඩෙ වැඩකරන විදිහ ගැන විජය පත්තරේ ලිපියක් කියෙව්වට පස්සෙ මට අපේ රේඩිවේක වැඩිදියුණු කරන්න ඕනි වෙනවා. ඒ හංදා එහෙං මෙහෙං හොයාගත්තු තඹ කම්බි, යකඩ කූරු එක්කහු කරලා පොල්කට්ටක් විතර ලොකු මකුළු දැලක් වගේ අරුම පුදුම ඇන්ටනාවක් මං හදාගන්නව. ඊළඟට බැට්ටි වෑර් කෑල්ලක් හොයාගෙන ඒක පලල ඒක අස්සෙ තියෙන කම්බි ටික අරගෙන එකිං එකට කොනිං කොන තියල අඹරලා දිග කම්බියකුත් හදාගන්නව. අන්තිමට ලාඩප්ප කෝට්ටක අමුණපු ඇන්ටනාව මිදුලෙ හිටෝල ඒකෙං ඇදගෙන ආපු කම්බිය ඒරියල් එකට ඇමුණුවහම SW පැත්තෙ වෙනදටත් වඩා සේවා අහුවෙනව. ඒ සේවාවල සමහර බාසාවල් මං ජීවිතේට අහලත් නෑ. එයිං එක සේවයක් මෝටරයක් කැරකෙන සද්දෙං මුළු දවසම “ට්ර්ර්ර්ර්රර්” කියනව. තව එක සේවෙක මිනිහෙක් සැරිං සැරේ
“පප්පා……………. චාලී……………………ඉස්සා……………. ටැංගෝ
කියනව. තව එක සේවයක් දවස පුරාම
“කීකීක් කීක් කීක් කීකීක් කීක් කීකීක් කීකීක් කීක්”
කියනව. ඒව පිටසක්වල රේඩියෝ සේවා කියල මට හිතෙනව. මේ ඔක්කොම ගෙදර කවුරුවත් නැති දවස්වල දවල්ට විතරයි. අනික් වෙලාවට මගෙ ඇන්ටනාව අටුවෙ හංගල තියෙන්නෙ මගෙ පර්යේසන ගැන දැනගත්තොත් තාත්තා මගෙ “ඇස් දෙකේ ඉඳං පට්ට ගහන” හිංදයි.
ඔය විදිහට මගෙ පර්යේසන වලිං “සමස්ත ඉංදීය ගුවංවිදුලිය” කියල එකක් හොයාගන්න මට පුළුවං වෙනව. දවාලක ඒ සේවෙ අහපු වෙලාවක ආපහු සේවෙ වෙනස් කරන්න බැරිවෙලා රෑට අපේ තාත්තා රේඩිවේක දාපු ගමං සමස්ත ඉංදීය ගුවන්විදුලිය සිංහලෙං ප්‍රවුත්ති කියන්න පටං ගන්නව. එදා ඉඳං හැමදාම අපේ තාත්තා රෑට ප්‍රවුත්ති අහන්නෙ ඒකෙං. සමහර දවස්වල හවසට කඩේ ගාව කයිවාරු ගහන අය

“මන්නං පවුත්ති අහන්නෙ වෙරිටාස්සෙකෙං. ඒකෙං කියනව හරියටම ඇත්ත විස්තරේ”

කියද්දි අපේ තාත්තා ඒ පම්පෝරියට දමා ගහන්නෙ සමස්ත ඉන්දීය ගුවංවිදුලියෙං.

“එයිට වඩා ඇත්ත කියනව හැබැයි අර සමස්ත ඉංදියා ගුවංවිදිලියෙං. හරියට හතකුග් ගාන්ට පටං ගන්නෙ. බලාහිටිය වගේ කියනොව. හොඳට අඬ තියෙන සේවෙයක්. මීටරේ මැද හරියකට අහුවෙන්නෙත්.”

ඔය අතරෙ තමයි “ශ්‍රී ලංකා බුවංවිදුලිස් සංස්තාවේ වෙළඳස් සේවයයි” කියන සේවෙ තමුංගෙ පැටි පැටවු රෑනත් එක්ක FM පැත්තට පනින්නෙ. FM නැති අපේ රේඩියෝ වලට ඒ පැනිල්ල නොදැනුනාට ඒ පැනිල්ලත් එක්ක ජීවිතේට අහපු නැති අලුත් සිංදු රේඩිවේකෙං ඇහෙන්න ගන්නව. කැසට් තියෙන ගෙවල්වල අය නං

“දැන්නං වෙළඳ සේවෙ පැහැදිලියි කියන්නෙ මේ ළඟ ඉඳං කතා කොන්නොව වගේ”
 කියල කියනව. ඒව අහං ඉන්න අපේ ගමේ අනික් අයත් පුළුවං හැටියෙං තමුන්ටම කියල කැසට්ටෙකක් ගන්නව. ගෙදර තියෙන පරණ රේඩියෙක අල්මාරියට දානව. නැත්තං අටුවට විසික් කරනව. ඒ රැල්ලට අහුවෙන අපේ නැංදත් මාසෙයක් දළු කඩාපු සල්ලි එක්කහු කරල ඉතුරු ටික මාසෙයක් ගානෙ ගෙවන පොරොන්දුව පිට තනි පිකරේ කැසට්ටෙකක් ගේනව.

අලුත් කැසට්ටෙක ගෙදර ගේන ගමං අපේ මිදුලෙං පාතට බහින නැංදා ගල්වැටිය උඩ නතරවෙලා කැසට්ටෙකේ පෙට්ටියෙ පිටිං ඇඳපු රූපෙ විතරක් අපිට පෙන්නනව.

“මේං මේ ජාතියෙ සූපේ තියෙන ජාතියෙ එකක් ගෙනාවෙ.”


“ඕක එලියට ඇරං පෙන්නන්නකො නැංදෙ අපිටත්”


නංගියි මායි කියනව.


” බෑ බෑ බෑ බෑ. මෙතෙන්නං එළියට ගන්න බෑ. ගෙදර ගිහිං තමා එලියට ගන්නෙ. ඕන්නං තව ටිහිකිං එන්න බලන්න ඕන්නැං.”

එයිං පැය බාගෙකට විතර පස්සෙ නැන්දලගෙ ගෙවල් පැත්තෙං මහා හයියෙං ඇහෙන මහ පිරිත අපේ කං අස්සට රිංගනව. මං නැංදලගෙ ගෙවල් පැත්තට අඩිය උස්සනකොටම අපෙ අම්මා මට බයිනව.

“තෝ යන්නෙපා උංගෙ ලොක්කං බලන්න. ගියොත් අඬු කඩ්නොව දැනගං.”

අම්ම ඉලපත අතට ගනිද්දි මං නවතිනව. රෑ වෙලා ගෙදර එන තාත්තත්

“මොකද්ද අර මැණිකලෑ ගෙවල් දිහාවෙං මහ හයියෙං එකාකාරෝම බලියනව ඇහෙන්නෙ ඕයි”

කියල අම්මගෙං අහනව. ඒ නැංදලෑ ගෙදෙට්ට ගෙනාපු අලුත් කැසට්ටෙක බවත්, ඒක හැංදෑවෙ ඉඳංම ඔය විදිහට බලියන බවත් අපේ මිදුලෙදි ඒක දිගෑරල පෙන්නුවෙ නැති බවත් ඕන්නැං බලන්න එහෙට එන්න කියපු බවත් මං කියනව. මට උංගෙ ලොකුකං බලන්න යන්න නොදීපු බව අම්ම කියනව. ඒ සේරම අහගෙන ඉන්න තාත්තා ඒ ගැන අනාවැකියක් කියනව.

“ඔය කොයික ගෙනාවත් වැඩහ්නෑ. පීසේන මල්ලි ඕකටත් වැඩිකල් නොගිහිං මකබාස් වැඩේ කොරයි.”

එදා ඉඳං හැමදාම මහ පාන්දර දෙකට තුනට නැන්දලගෙ ගෙදර කැසට්ටෙක මහ සද්දෙට පිරිත් කියද්දි අපිව උඩ විසිවෙලා ඇහැරෙනව. බිංදුවා ටකරමත් පෙරලගෙන පෝර කවරෙත් පටලවගෙන මිදුලට පනිනව. ඒ සද්දෙට කලබල වෙලා වත්තෙ කුකුලොත් ඇහැරිලා නිදිමතේ අඬලනව. රේඩිවේකෙ උදෑසන දම්ම චිංතාව කියන  සද්දෙට අපේ ගෙදර කුස්සියෙ වලං මුට්ටිත් හෙල්ලෙනව. පාන්දර දේශාභිමානී ගීත ඇහෙද්දි අපේ තාත්තා එඩිතරව නැගී හිටිනව.

“අම්ප මේකි මේ කෙහෙම්මලක් ගෙනැත් බලියෝන හැටි. කිසියම්ම කිසි මිනිහෙට්ට නිංගක් ඇහැ පියවන්න නෑනෙව.”

උදේට ඉර පායලා, පාංකාරයත් ඇවිල්ලා, ළමයි ඉස්කෝලෙත් ගිහිල්ලා, අනික් ගෙවල්වල අයත් වැඩට යද්දි නැංදයි, මාමයි දෙන්නත් වැඩට යනකොට කැසට්ටෙකත් කට වහගෙන තමුංගෙ දෑවැද්දට හම්බුවෙච්ච පෙට්ටිය ඇතුළට රිංගල නිදාගන්නව. ආයිමත් හවසට ඒ දෙන්නා ගෙදර ආපු ගමං කැසට්ටෙක එලියට ඇවිල්ලා ගමටම සිංදු අස්සවන්න පටං ගන්නව. ඒ සද්දෙට මූන දෙන්න බැරුව අනික් ගෙවල්වල රේඩියෝ සේරම කට පියාගෙන ඉන්නව. අපි නිදාගනිද්දිත් රෑ නමේ ප්‍රවුත්ති ප්‍රකාශය නැන්දලගෙ ගෙදර ඉඳං කන්ද නැගගෙන ඇහිල්ලා අපේ ගෙදර දොරෙං රිංගලා අපේ කං වලට අනිනව.

මේ විදිහට ගමටම රේඩියෝ අස්සවන එකේ ආනිසංස හැටියට නැන්දගෙ නමට තියෙන කඩේ ණය පොතේ දවස් තුන හතරකට සැරයක් බැට්ටි කෑලි හතර ගානෙ ලියවෙනව.

බ්ලොග් වසන්තය ඡන්ද පොලට ගොස් ඔබ කැමති බ්ලොග් ලිපි තුනකට ඡන්දය දෙන්න. මෙතැන ඔබන්න.

%d bloggers like this: