Menu Close

මල් මාලතී ලතා – නොපිපී බලා හිඳී


මල් මාලතී ලතා
අඳුරේ මිලාන වී
මේ පාළු රාත්‍රියේ
නොපිපී බලා හිඳී
මල් මාලතී ලතා….

වියෝ වේදනාවෙන් සසැලෙන විරහී හිතකටත්, හුදෙකලාවේ ශාන්තිය අත්විඳින සමාධිගත හදකටත් තරු පිරි අහස, සඳ එළිය, තුරු සිරි සිරිය, සීතල මඳ සුළඟ එක මිටට කැටි කරගත්ත නිස්කලංක රැයක් තරම් ඔසුවක්, සුවයක් තවත් නැහැ.

මේ හුදෙකලා රැය පාළුයි, ඒත් නිසංසලයි. මගෙ හිත වගෙයි. මාලතී මලුත් නොපිපී බලන් ඉන්නවා, පරවුණු මලෙක මුදු සුවඳ රැයට මුහුවෙන්න ඉඩ හැර. ජීවිතය හරි විඩාබරයි. ඒත් හිත ළඟ තනි රකින මතකයන් හරි සුන්දරයි. ආදරණීයයි. සුසුමක් වුණත් අත්හරින්න බැරිත් ඒ නිසයි.

හැඬූ සිතේ විඩා නිවා
ඇදේ මාරුතේ
හැපී බිඳෙන ප්‍රේමයේ
සෝ සුසුම් ලෙසේ..
කිසිදාක නොමැත ආදරේට
ලැබී ආදරේ….

‘‘ඔයා එක්ක මොකුත් කතා කරන්න බෑ. කඳුළු ඉස්සර කරගන්නවා. මේ තරම් පුංචි දේවලට අඬන්න එපා. කඳුළු වටිනවා. ජීවිතේ වටින දේ වෙනුවෙන් අඬන්න කඳුළු ඉතිරි කරගන්න.“

ඔයා කියනවා. ඒත්, මේ කඳුළු උල්පත් හිර කරගන්න විදිය තාම මම දන්නෙ නැහැ. කෙනෙකුට ජීවිතයේ ලැබෙන වටිනාම ආදරය අහිමි වීම අඬන්න හේතුවක් නෙවෙයි ද? ඒ ආදරය ඇස් ඉස්සරහ දැල්වෙමින් තියෙද්දිත් ඈතට යන්න වෙන එක දුකක් නෙවෙයි ද? 


අඬන්න මට ඉඩදෙන්න. ඉන්පස්සෙ හෙමිහිට සුවපත් වෙන්න මට පුළුවනි. තනිකමට හුරුවෙන්න මට පුළුවනි. ආදරය කියන්නෙ දෙන දෙයක් මිස ලැබෙන දෙයක් නොවන බව, තිත්ත වුණත් ඒ ඇත්ත පාඩම ආයෙමත් මට ඉගෙනගන්න පුළුවනි. ජීවිතය පුරාම වැරදුණු පාඩම එය වුණත්.

ගැලූ සිනා ගඟේ ගිලී
ගියෙද ආදරේ
හඬා වැටේ ප්‍රාර්ථනා
පෙම් උයන් තෙරේ..
කවදාක සුවඳ යළි දැනේද
නැවුම් ස්නේහයේ…

දුරස්වීමේ වේදනාව මේ තරම් දැනෙන්නෙ අපි ඒ තරම් ම සතුටින් ජීවිතය බෙදා ගත් නිසා නෙවෙයි ද? හැමදාමත් ඒ විදියට ඉන්න බැරි තරම් පවුරු පදනම් අපි වටේට දැනටමත් ඉදිවෙලා. පියාපතක් වගේ සැහැල්ලුවෙන් ඔයා වටේ දැවටි දැවටි ඉන්නයි මට හැමදාමත් උවමනා වුණේ. ඒත් ඒ හීන දවසින් දවස බොඳ වෙලා යනවා. අපි දවසින් දවස දුරස් වෙනවා. අතීතයේ දවස්වල ඔයා මට දුන්නු ඒ නැවුම් ආදරයේ සුවඳ ආයෙ කවදාවත්ම හිමිවෙන්නෙ නැති බව මට දැනෙනවා. ඉතින් ඒ මතකය විතරක් මගෙ හිතේ ඉතිරි වුණාවේ.

සම්මතයේ, සම්ප්‍රදායේ, ජීවන අරගලයේ කටු තුඩු ඇනි ඇනී හැමවිටම හිත රිදවන මේ බන්ධනයට වඩා ඒ මතකය මට හැමදාමත් සුවඳයි.



ගායනය               – එඩ්වඩ් ජයකොඩි
තනු නිර්මාණය    – රෝ්හණ වීරසිංහ
ගේය පද රචනය   – කුමාරදාස සපුතන්ත්‍රී
%d bloggers like this: