Menu Close

හදේ කොතැනක හෝ තවමත් ඔබ ඉන්නවා

කුමාරදාස සපුතන්ත්‍රි ගීතයට යොදා ගත් ප්‍රේමණීය අත්දැකීම් ගැන කතා කරයි
 
 
 
ඔහු එදා මෙදාතුර ජීවිතේ ලැබූ අත්දැකීම් අපමණය. විශේෂයෙන් යොවුන් වියේදී ලැබූ ප්‍රේමය පිළිබඳව සුන්දර වූත් කටුක වූත් අත්දැකීම් පසුකලෙක ඔහු අතින් ඉතා සොඳුරු ගී නිර්මාණ බවට පත්වූයේ ය. ජීවිතයේ එක්තරා කාලයකදී ඔහු ප්‍රේමය වින්දනය කළේ ය. එමෙන් ම විදෙව්වේ ය. මේ හරහා ඔහු පසුකලෙක ගී ලියුවේ ය. ඒ ගී සියලු පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ ආත්මය බදා වැළඳගත්තේ ය. එනිසා ම ඒ ගී නිර්මාණ අදත් රසිකයා අතර බෙහෙවින් ම ජනප්‍රියය ය. තමන් ලැබූ අත්දැකීම පොදු බවට පත්කළ ඔහු ප්‍රවීණ ගී පද රචක කුමාරදාස සපුතන්ත්‍රී ය. මේ ඔහු ප්‍රේමය වෙනුවෙන් ලියූ අප තෝරාගත් ගී කිහිපයකි. ගිලන් වූ හදවත් සුවපත් කිරීමට ද තනි වූ හදවත් තනිකමෙන් මුදවා ගැනීමට ද ප්‍රේමයට මහඟු බලයක් ඇත්තේ ය. ආදරය වෙනුවෙන් බොහෝ පරිත්‍යාග කිරීමට ද එකිනෙකාට ගෞරව කිරීමෙන් හදවත් සනසා ගැනීමට ද ප්‍රේමයට පුළුවන. වෙන්නොවන්නේ යැයි කියා ගිවිසා ගත්ත ද දෙදෙනාගේ වුවමනාව සඳහා නොව වෙනත් බාහිර බලපෑම් නිසා දෙපසකට වන්නට වූ විට එයින් තැවෙන්නේ ද දැවෙන්නේ ද ඔවුන් දෙදෙනා ය. මේ එවන් අත්දැකීමක කඳුළු බිඳුවකි.
 
හදේ කොතැනක හෝ හිදි ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා
මුදා සුව දැහැනින්…

හදවතේ නොරැදි මැකී යන්නට යැයි කී ඇයගෙන් ඔහු සමුගත්තේ ය. අවසන ඔහු මෙසේ ලීවේ ය.

“සන්තාප මාවතේ
සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටිමි
වෙන්වීම මා ඇගෙන්”

යොවුන් පෙම්වතා තම පෙම්වතියගෙන් වෙන්වූයේ බොහෝ දුකිනි. සියල්ල අතීතයට එක්කර ඔහු හිත හදා ගන්නට වෙහෙස වූයේ ය. එහෙත් ඇගෙන් සමුගෙන යාම කියූ පමණින් ම පහසු වූයේ නැත. ඈ යන්නට ගියා ය. ඔහු ද ආපසු හැරුණේ ය. මුළු ලොව ම ගනඳුරේ ගිලී ගිය සේය.

එපා හිරු පායන්න
අදින් පසු මගෙ ලොවට
අදයි අවසන් දවස
ඇගෙන් මා මගෙන් ඈ සමුගන්න

මුළු මහත් විශ්වයම නැවතුණු සේය. තමාගේ ලෝකය පාළු මුඩුබිමක් සේය. වසන්තය නිමා වූ සේ ය. සියල්ල සිදුවී හමාරය. ප්‍රේමය වෙනුවෙන් ලියැවුණු වියෝ ගී පිළිබඳව කුමාරදාස සපුතන්ත්‍රී පවසන්නේ මෙවැනි අදහසකි.


 “ජීවිතේ එක්තරා යුගයක ලැබූ අත්දැකීම් තමයි මේ ගී කිහිපයකට වස්තු විෂය වුණේ. ජීවිතේ පිළිබඳව හරියාකාර වැටහීමක් නොතිබුණු කාලේ පටන් ගත්ත ප්‍රේම සම්බන්ධය අතර මග නතර වුණේ දෙදෙනාගේ ම කැමැත්තෙන්. ඊට බලපෑවේ බාහිර හේතු සාධක. “හදේ කොතැනක හෝ හිදී” ගීයෙන් මට අවශ්‍ය වුණේ පෙම්වතිය අහිමි වීමෙන් මා ලැබූ දුක් අදෝනාව කීමට නොවෙයි. වෙන්වීම ප්‍රේමය වෙනුවෙන් කළ පරිත්‍යාගයක්… ඒ පරිත්‍යාගය හරහා තමයි ඇය හදේ සැඟවී සිටින්නේ. මෙය ඉතා සුළු සිදුවීමක්. මා ලැබූ විරහ වේදනාව පොදු බවට පත්කරමින් රසිකයාට නිර්මාණයක් ලෙසින් දී තිබෙනවා. මේ ගී ලියැවුණේ මීට අවුරුදු ගාණකට කලින්.


මේ සිදුවීම් සිදුවෙලා කාලයක් ගියාට පස්සේ ජීවිතේ සංක්‍රාන්ති සමයක් තිබුණා. ඒ සංක්‍රාන්ති සමයේදී ලැබූ අත්දැකීමක් තමයි එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතයෙන් හැඩ වී රෝහණ වීරසිංහ මෙසේ ගයන්නේ.

කාලය ගෙවී ගියේ ය. ප්‍රේමය නිසා වැටුණ කඳුළු වියැළී යමින් තිබිණි. නැගුණු සුසුම මැකී යමින් තිබිණි. ඒ අතර වාරයේ හිත අලුත් බලාපොරොත්තුවක් වෙනුවෙන් සිහින දකින්නට වූයේ ය.

 “හැන්දෑකරේ අඹමල් වට බඹරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා”

අලුත් පැතුම් ගොන්නක් හිත යටින් මතුව එන්නට විය. එය ජීවිතේ අලුත් පිටුවක් පෙරළන්නට ය.
ඈ ඇස ගැටුණු දා ඔහුට තනි රැක්ක පාළුව, තනිකම වැලපුණේ ය. ඒ තනිකමට ඔහු හැරදමා යන්නට වන නිසා ය.ඇස ගැටුන ‘රෝස කුසුම’ ආමන්ත්‍රණය කළේ හදවතේ ගැඹුරුම තැනට ය. රෝස කුසුම ජීවිතයට අලුත් පැතුම් ගොන්නක් ගෙන ආවේ ය.

“රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් ගෙනේ
නොලද සුවයක් සදා – පුබුදුවා
සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී”

රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ සුනිල් එදිරිසිංහයන් ගයන ගීතය ගැන සපුතන්ත්‍රි කියන්නේ මේ වගේ අදහසක්.
“ජීවිතේ අර කිව්ව සංක්‍රාන්ති සමයෙන් පස්සේ කවුළුවෙන් ඈත බලන කොට ඇස ගැටුණු රෝස මලක් තමයි මේ ගීයට අත්දැකීම වුණේ… ජීවිතේ සමඟ එකට සිටිය තනිකම යනවා අලුත් කෙනාට එන්න ඉඩ හැරලා. පාළුව තමයි හඬන්නේ. දුක තනිකම සියල්ල නිමා වෙනවා. ඒ අර රෝස කුසුම නිසා… මම මේ ගීය හැඳින්වූයේ පැමිණීම සහ පලායාම කියලා. කලක් ජීවිතය වෙලාගෙන තිබූ පාළුව තනිකම ඔහු හැර යන්නේ ය. ඒ ඇගේ මුදු සෙනෙහස, ළබැඳියාව නිසා ය. එහෙත් ඈ එන්නට පෙර ඔහු හා ඔහුගේ අවට සැරි සැරූ තනිකම ඉකිබිඳ හඬන්නේ ය. එනමුදු ඔහු සනසවාලන්නේ ඇගේ මුදු ආදරයයි. ඒ ඔහුගේ රෝස කුසුමියයි.

“ඔබේ සුවඳ ලද මොහොතින්
මා වෙලා සිටි ඒ ආදරෙන්
මගෙ තනිකම හඬයි ඉකිබිඳ
දෙපාමුල හැපෙමින්
වසා මුව දෝතින්…”

ඉනෝකා සමරවික්‍රම

උපුටා ගැනීම සිළුමිණ පුවත්පතිනි.

%d bloggers like this: