Menu Close

තොටියෙකුගේ අහිංසක දොම්නසක සිට විවෘත ආර්ථික ක්‍රම විවේචනයක් හරහා සිරිමාවෝ බණ්ඩාරනායක අහිනන්දනයක් තෙක්


ගී විචාරයක දී ඉහත මැය ඔබ තුළ අති මහත් කුතුහලයක් දනවනු බවට කිසිදු සැකයක් නොමැත. දක්ෂ ගී පද රචකයෙකු අතින් ලියැවෙන ගීතයකට බහු අරුත් දනවන එවැනි ශක්‍යතාවයක් ඇති බවට මෙම ගීතය අපූරු උදාහරණයකි.

කවුරුවත් නෑ… කවුරුවත් නෑ
එගොඩට යන්නට … එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ…, ඔහෙ තිබුණා වේ
කවුරුත් නෑ අද එගොඩට යන්නට

දවසින් දවසට පාළම හැදුනා
පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා
කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්…

දෑතේ අතැඟිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි බර පොදි තිබුණා
මෙතුවක්‌ නොමගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා වාගෙයි

පදමාලාව – හේමසිරි ගුණතුංග
තනුව – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය – අමරසිරි පීරිස්‌



ගීතයෙහි මතුපිට අර්ථය ගඟ හරහා මගීන් එතෙර කළ පාරුකරුවකුගේ දොම්නස පිට කිරීමකි. පාලම ඉදි කිරීමෙන් පසු එතෙර යන්නට කිසිවෙකු පාරුව යොදාගන්නේ නැත. ඉර හැරී පාරුව අඳුරෙන් වැසී ගිය ද ලන්තෑරුම දැල්වීමට වෙහෙස වීම අර්ථ විරහිත ය. එගොඩ යන්නට පාරුවට ගොඩවන්නාවූ කිසිවකුත් නොවන බැවිනි.

දිනෙන් දින ඉදි කෙරෙන පාලම් වැඩබිම නිසා ස්වභාව ධර්මය ද වෙනස් වී ඇත. ගමෙහි සුන්දරත්වය ද කුරුල්ලන් සමඟම පළා ගොසිනි.

පාරුවක ගෙන යා හැක්කේ එයට දැරිය හැකි සීමිත බර ප්‍රමාණයක් පමණි. ඉන් එහා කිසිවක් ගමට සේන්දු වන්නේ නැත. පාරුව ද, තොටියා ද එක්තරා විදියකට ගම වෙත ළඟා වන දේ පිළිබඳ සීමා පනවයි. එහෙත් පාලම ඉදි වූ පසු එවන් සීමා මායිම් නැත. කන්ටේනර් රථ පුරා විවිධ දේ ගමට එයි. පාරුව විසින් පනවා තිබූ සීමා මායිම් ඉක්මවා ටොන් ගණනින් විවිධ දෑ ගමට පැමිණෙන්නේ තොටියාට සරදමට සිනාසෙමින් මෙන් ය.

අතීත ගමෙහි සුන්දරත්වය අතිශයෝක්තියට නඟන නිර්මාණ ලාංකේය ගීත සාහිත්‍යයෙහි විරල නැත. එහෙත් ඒ සමඟම ගැඹුරු යටි පෙළක් සහිත ගීත සුලබ නැත. එබැවින්ම හේමසිරි ගුණතුංග ගේ මේ ගීතය සුවිශේෂී ය.

ගීතය පුරාම සංකේත බහුල ය. ඉදිවන පාලම විවෘත ආර්ථිකයේ සංකේතයකි. එතෙක් කලක් ගම නගරය යා කිරීමට යොදා ගත් පාරුව පාලිත ආර්ථිකයක සංකේතයයි. ගමට පැමිණෙන බොහෝ දේ තීරණය වන්නේ පාරුවේ රැගෙන ඒමේ හැකියාව මත ය. එහෙත් ආර්ථිකය විවෘත වීමත් සමඟ සීමා විරහිතව සියලු දේ ගම වෙත ගලා එයි. පාලම් මෝල ද විවෘත ආර්ථිකය හා සබැඳෙන කාර්මීකරණයේ සංකේතයකි. තුලිත පරිසර පද්ධති මේ සමඟම විනාශ වීම කිරල කැලය හැර යන කුරුළු කොබෙයියන්ගෙන් සංකේතවත් ය.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගේ ස්වර රචනය හද කම්පනය කරන විලාපයක් ඉතිරි කරයි. විවෘත ආර්ථිකය හමුවේ ගෝලීය ආර්ථිකයේ පරිධියෙහි ස්ථාපිත කොදෙව්වකට, ගෝලීය ප්‍රාග්ධනයේ කේන්ද්‍රීය රටවලින් එල්ල වන ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික බලපෑම් පිළිබඳ තේමාගත ගීතයකට බටහිර සංගීත ආරකටම සංගීතය නිර්මාණය කිරීම කොතරම් අපූරු ද? ශ්‍රී ලාංකික ගායන ක්ෂේත්‍රයේ මහා හඬ පෞරුෂයක් සහිත රූපකායක් වන අමරසිරි පීරිස් පද මාලාවෙන් සහ නාද මාලවෙන් ඉල්ලා සිටින හුදකලාව, උකටලී බව, ඛේදය වැනි භාවයන් සිතේ නිදන් කරවයි. ගේය පද රචකයා, සංගීතඥයා, ගායකයා එක්ව අපට තිළිණ කර ඇත්තේ දශක ගණනාවක් අප හද කම්පනය කරන ගීතයකි.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මෙම ගීතය වෙනත් කටයුත්තකට යොදා නොගැනෙන්නට තීර්ථය වෙනුවෙන් කෙරෙනා මෙම ගීත විචාරය මෙතනින් නිමාවන්නට ඉඩ තිබිණි. එය එසේ නොවන්නේ කේමදාසයන් මෙම ගීතය නිර්මාණය කරන්නේ වෙනත් අදහසක් සිත්හි දරාගෙන වන බැවිනි. ඒ ගේය පද රචකයා ද නොදැනුවත්වම ය.

හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ උපන්දිනය සැමරීමට 88/89 කාල වකවානුවේ උත්සවයක් සංවිධානය කර තිබිණි. ඇය වෙත තිළිණ කිරීමට ගීත කැසට්පටයක් නිර්මාණය කිරීමට ප්‍රේමසිරි කේමදාසයන්ට අවශ්‍ය විණි. එය හුදෙක් ගීත කැසටයක් පමණක් ම නොව පවතින සමාජාර්ථික වටපිටාවට විරෝධය පළ කරන නිර්මාණ එකතුවක් ලෙස සිදුකිරීම ද ප්‍රමුඛ අවශ්‍යතාවක් වී ඇත. මෙම ගීතය ද, හේමසිරි ගුණතුංගයන් රචිත තවත් ගී තුනක් ද ඇතුළත්ව ‘‘සොහොයුරාණෙනි‘‘ ගීත කැසට් පටය එළි දකින්නේ එලෙසිනි.

පාලිත ආර්ථීක රටාවක සිට විවෘත ආර්ථික රටාවකට ශ්‍රී ලංකාව යොමු වූයේ 1977 දී සිරිමාවෝ බණ්ඩාරනායක  මැතිනිය මැතිවරණයෙන් පරාජය වූ පසුව බව සිහියේ තබාගෙන මෙම ගීතයට නැවත සවන් දීම සුදුසු යැයි මම යෝජනා කරමි.

පහන්



%d bloggers like this: