Menu Close

මගේ අතේ තිබූ වටිනාම මුදල…

වේලාව රාත්‍රී 8.30 ට පමනය.ස්ථානය කුරුණෑගල පොලීසිය ඉදිරි පිට ඇති කොළඹ බස් නැවතුමයි.ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා දිවෙන ල.ං.ග.ම බස් රථයයි.මා සිටියේ පාපුවරුව අසලම සිටගෙනය.
                       

                                 අම්මෝඃ…….ම්ඃ….

පහලින්  වැරැහිලි ඇඳගත් මහල්ලෙකු බසයට නැගීමට උත්සහ කරයි.පළමු පඩියට අමාරුවෙන් ගොඩවූ ඔහු තෙවනි පඩියට අත්දෙකම තබා  දෙවනි පඩියටද නැගුනි.කොහෙදෝ නැති අනුකම්පාවකින් මා ඔහු ඊලඟ පඩිය නැගීමට පෙර වාරු උනෙමි…බොහෝ අපහසුවෙන් ඔහුට බසයට නැග ගැනීමට හැකි විය.අසල අසුනේ වාඩිවී සිටි මාගේ සහෝදර අයියා කෙනෙකු නැගිට අසුන ඔහුට පිරිනැමුවේය.

                                     අම්මෝඃ…..

                “”මහත්තය…..පිං…..පිං මහත්තය…..මගෙ මේ ඇහැ              ඔපරේශන් කරල….ටිකට්” ……….

..ඔහු ඔහුගේ රෝගයත් ඇසත් පිළිබඳ හෙන හෑල්ලක් කියවමින් සිටී….

“අංකල් කොහාටද?”

“කොළඹට මහත්තයො…”

“හත් ඉලව්වේ මේ මොකක්ද?අඩෝ බං කොළඹට ටිකට් ගන්ඩ මම ලඟ සල්ලි නෑ බං”….

හම්බෙන සොච්චමත් පිස්සු නටා විනාශ කරන මා අත මුදල් කොයින්ද?….බෑග් එකේ රුපියල් සීයක් ඉතුරුවව තිබුණු බව මතකය….අප දෙදෙනාටම ප්‍රවේශ පත් ගැනීමෙන් පසු ඉතිරි වන්නේ රුපියල් පනහක් පමණි….

අසරණ පුද්ගලයින් බස් රථවල නොමිලේ රැගෙන යන කොන්දොස්තර වරුන් මා දැක ඇත……එහෙත් කොළඹට ඔහුව රැගෙන යාවිද….කුකුසකි….”කොහොම හරි කමක් නෑ….අහල බලනව….”

“මහත්තයො ඔය ඔතන පල්ලෙහ මහත්තෙයෙක් ඉන්නව ඒ මහත්තය තමා මට ටිකට් අරන් දුන්නෙ……මම ඒ මහත්තයගෙ කකුල් දෙක අල්ලල වැන්ද …”

අපූරුයි….මොහුට ගමන් වියදම පියවා ඇත….

මා එවලේම දොරෙන් එලියට ඔලුව දා බැලුවෙමි…..කොන්දොස්තර මහතාට මුදල් දී ටිකට් ගන්නා පුද්ගලයෙකි…..කොන්දොස්තර මහතා ටිකට් පතක් ලියා පිටුපස දොරෙන් පැමින ඒ රෝගියාට ටිකට් පත ලබා දුනි…..නැවතත් ඔහු වදින්නට පටන් ගත්තේය…ටිකට් පතට මුදල් ලබා දුන් ඒ සැබෑම මිනිසෙක් වූ ඒ උදාර මිනිසා බස් රථයට ඉදිරි දොරෙන් ගොඩ විය.

ඒ වෙලෙහිම කොන්දොස්තර ද පිටුපස දොරෙන්ම ගොඩවී සීනුව නාද කළේය….

                “මෙතන නන්  මල්ලි හුළං වදිනව…”

               “ඔව් අයියෙ…වෙන තැනක ශීටුත් නෑ..”

කොන්දොස්තර මා පසුකොට ගියේය….

එලියේ වැහිබර ගතියක් ඇත….බස් රථය යන්නේ තරමක් වේගයෙනි…කොළඹ – ත්‍රිකුණාමලය බස් රථ යන වේගය ගැන අමුතුවෙන් සඳහන් කලයුතු නොවේ…ඊටත් පාරේ වාහනත් නැති රෑට…එය දෙගුන තුගුන වේ….

දොර අසල සිටගෙන සිටි මට කුඩා වැහිපොද හා සුළඟ කරග බලපැම දැනුනි…නිසැකවම අක්ෂි රෝගියෙක් වන මොහුට මෙය පහසු කටයුත්තක් නොවන බව විශ්වාසය….මා ඔහුව ආවරනය වන සේ සිට ගත්තෙමි….

මුදල් මිනිසෙකු කොතරම් අසරන කරයිද?කොතරම් නීච කරයිද?…..කොතරම් අමානුශීය කරයිද?සිතිවිලි සාගරයක් තුල මා කිමිදිනි…

     “අංකල් කොළඹට ගිහිල්ල කොහෙටද යන්ඩ ඕනෙ…..”

    “කොලඹට ගිහිල්ල එතනින් කිරුළපණට යන්ඩ ඕනෙ….”

   “ඉතින් මේ රෑ කොළඹට ගියාට කිරුළපණට යන්ඩ බස් නෑනෙ….”

     “ඔව් මහත්තයෙ රෑ කොහෙහරි ඉඳල හෙට උදේම යනව….”

රෑ කොළඹ කොහෙනම් ඉන්ඩද….එකම පිළිසරන පේමන්ට් එක්ක නිදා ගැනීමය….එහෙත් කුණු දූවිලි පිරි ඒ කොළඹ පොළොව මොහුට,මොහුගේ ඇසට අනුකම්පා කරයිද?….ඇස ආරක්ෂා කරයිද?..හොඳින් බලාගනීද?

මට අපේ අත්තා ඇස් ඔපරේශන් කර පැමිනි දවස සිහිවිය…ඔහුව කෙතරම් රැක්කාද….දැඩි හිරු එළියට නිරාවරනය නොකර ඉතාමත් පිරිසිදුව ඔහුව බලාකියාගත් අයුරු මට අද වගේ මතකය.ඉතින් මොහුටත් එවැනි ආරක්ශාවක් ලැබිය යුතු නොවේද?ඊටත් වඩා හොඳින් මොහුව බලාගත යුතු නොවේද?…

“මම කාගෙන්වත් කීයක්වත් ඉල්ලුවෙ නෑ මහත්තයො බනී කියල බයට….”

                       “කවද්ද කුරුණෑගල ආවෙ”

                               “අද මහත්තයො…”

                  “ඇයි කොළඹ ඉදන් මෙහෙ ආවෙ…”

“අක්කල ගෙදර ආවෙ…උදේ ඉඳන් ගේ ලඟ හිටිය එයාල නෑ….කොහෙ හරි ගිහිල්ල..ඉදල ඉදල බැරිම තැන යන්ඩ කියල ආවෙ….”

“මොකද ඔය ඇහැට උනේ…”

“මේ තැඹිලි කපන්ඩ ගිහිල්ල……තැඹිලි ගහෙන් වැටුන මහත්තයො….දවස් හයක් සිහිය නැතුව හිටිය…කොන්දටත් මොකක්ද වෙලා ඇවිද ගන්ඩ බෑ……ඇහේ ලීයක් ඇනිල..මේ ඇහැ ආය පේන්නෑ….මම හරි අසරණයි මහත්තයො….”

ඔහුගේ අනෙක් ඇසින් කඳුලු වැටෙන්නට ඇත!!ඇඳ සිටි වැරහිලි සරමෙන් ඔහු ඒ ඇස පිස දැමුවේය…..

ගෙදර යා ගැනීමට සල්ලි නැති වූ අවස්තා වලට මාද මුහුන දී ඇත….එවලෙහි මට දැනුනු අසරන කමට වඩා සිය දහස් ගුනයක අසරන කමක් මොහුට දැනෙනවා නොඅනුමානය…

                                    “ළමයි නැද්ද?…”

                        “නෑ මහත්තයො මම බැඳල නෑ…”

මේ ලෝකේ තමන්ට තමන්වත් නැති වූ අයෙක්….එවැනි හැගීමක් ඔබට ඇතිවී තියේද?…සිතන්න…මෙවැනි කරදරයකට ඔබ මුහුන දුන්නා කියා…..තමන්ට තමන්වත් නැතිව….දැනෙන අසරණභාවය කෙතරම් කුරිරුද?…

                               “කාලද ඉන්නෙ…..”

“නෑ මහත්තයො……කාගෙන්වත් ඉල්ලන්ඩ බෑ…බනී කියල බයයි….එක මහත්තයෙක්ගෙන් ඉල්ලුවහම අම්මටත් එක්ක බැන්න මහත්තයො…..මං ගාව පොඩි වතුර බෝතලයක් තියනව ඒක බිබී හිටිය…..”

ඔහු අතේ තිබූ සුදු පැහැති කවරය පෙන්වූවේය…එහි තුල සුදු පැහැති කමිසයකුත්….ලා නිල් පැහැයට හුරු සරමකුත්….කුඩා වතුර බෝතලයකුත් විය…

           බඩගින්න වතුරෙන් සංසිඳුවා ගැනීම…!!

ඔහුට එහා පසින් සිටියේ මැදිවියේ පමන වූ යුවලකි….ඔවුන් දෙදෙනා ඔහුට වඩෙයක් ලබාදුනි….ඔහු බැරි බැරි ගාතේ ශීට් එකෙන් නැගිටින්නට විය.
“”..බුදු වෙනව මහත්තයො…..මම උදේ ඊදන් කාල නෑ!! බුදු වෙනව මහත්තයො!!…”

ඔහු ලැබුනු ආහාරය ඉතාමත් වේගයෙන් බුක්ති විදින්නට විය…ඒ අතර කොන්දොස්තර මහතාද පිටුපසට පැමිනියේය…මා ඔහුට මා ලඟ තිබූ එක් පනහේ කොලයක් දී ටිකට් ලබා ගත්තෙමි…මුදල රුලියල් හතලිස් හතරක් වූවත් ඉතුරු රුපියල් කිහිපය ගැන ආසාව අත් හැරීම හොඳය…මොකද රාත්‍රී කාලයේ ඉතුරු මුදල් නොලැබෙන බව මා අත්දැකීමෙන් දනී…..

තවත් මා ලඟ රුපියල් පණහේ කොලයත් තිබෙන බව මා හොඳා කාරවම දනී…ඒ මාගේ සුපුරුදු ඩේටා කාඩ් එක මිලදී ගැනීමටය…ඩේට වගේද මනුස්සකම…..පස්සෙ කීයක් හරි හොයාගෙන ඩේට දාගන්න එක වෙන වැඩක්….දැන් මේ මනුස්සයට කීයක් හරි දුන්නොත් ඒක තමයි වටින්නෙ…එහෙත් දීමට පුලුවන….වැදුම් ලබා ගැනීමට මා අකමැතිය…

මා ඔහුගේ හිසේ සිට පාදාන්තය දක්වා නිරීක්ශනය කලේය.හිසෙහි කොන්ඩය මනාව කපා ඇත.රොදය තියා පීරා ඇතත් එය මදක් අවුල් වී ඇත….පොල්තෙල් හෝ එවැනි යමක් ගල්වා ඇති බවට විදුලි එලියට දිලිසෙන කොන්ඩය සාක්ශි දැරීය.

වම් ඇස ගෝස් දමා ආවරනය කර ඇත..එය මුහුනේ විශාල වපසරියක පැතිර ඇත.රැවුල මනාව කපා තිබූ බවක් පෙනෙන්න්ට ඇත…එහෙත් තැනින් තැන වැවුනු රැවුල් කොට මුහුනට එක් කළේ අපිලිවෙලකි.කමිසය සුදු පැහැයත් අලු පැහැයත් අතරමැදි පැහැයකින් යුක්ත වූවකි.එහි කමිසයේ පාටටම ආසන්න පාටකින් පහලට ඉරි ඇත.සරම එවැනිම පැහැයකට හුරුව තිබූ බව මතකය…කමිසයේ අත් දෙකම වැලමිට හරියෙන් කපා දමා ඇත…බාග විට එය පෙරදි අත්දිග ශර්ට් එකක් විය යුතුය.කෙසේ වෙතත් ඇඳුම් දෙකම දැඩිව අපිරිසිදුවී තිබිනි.අතේ වූ කවරය රෝල් කර ඔඩොක්කුවේ තබා ගෙන සිටී…පයට පාවහන් නැත…

ඔහුගේ අතේ මිට මොළොවා ගත් සුදු පැහැති කඩදාසියකි…ඒ ඔහුට ලැබුනු වඩේ කෑල්ලය..එයින් බාගයක් කා අනෙක් බාගය අතේ මිටි මොලවාගෙන සිටී..

මොහු මාගේ පියාගේ පමන වසක විය යුතුව…මා බෑගය තුලට අතදමා එය පීරුවෙමි…එය තුලින් මුලින්ම හමු වූයේ රුපියලේ කාසි දෙකකි එය පසු පස සක්කුවට දැමිවේය…ඉන්පසු තවත් කාල් ගෑවේව…මෙවර පහේ කාසි දෙකක්…එයද පසුපස සාක්කුවටය…තවත් කාල් ගෑවේව…එවරද පහේ කාසියකි..තව දුරටත් සෙවූ විට රුපියල් විස්සේ කොලයක්ද කොහෙදෝ සිට මතු විය….අවසානයේ පණහේ කොලය මතු විය….රුපියල් අසූ හතක් පසු පස සාක්කුවේය.මෙතරම් මුදලක් මා සතුව තිබූ බව නොදනිමි.මෙය මොහුට දිය යුතුය එහෙත් වැඳුම් ලබා ගැනීමටද නොහැකිය.තවත් තත්පර කිහිපයකින් මා බසයෙන් බැස යායුතුය…මා බෑග විවුත්ත කොට තවත් රුපියල්ක් වත් ඇත්දැයි සෙව්වෙමි…එහෙත් තවත් සතයක් වත් නැත.මා සීනිව නාද කොට පා පුවරුවට බැස්සෙමි.බස් රථය නැත්වීමට තිරිංග යෙදීය…මා පිටුපස සාක්කුවෙන් ඇදගත් සියලුම මුදල් ඔහු අත තැබීමෙ…ඔහු හිස හරවා මා දෙස බැලීය….

                               “බුදු මහත්තයෝ..”

මම බසයෙන් බැසීමි….බැසීමකට වඩා එය පැනීමක්…..දුර ගමන් සේවා බස් රථවල අතර මැද නැවතුමකින් බැසීම පැනීමක් කියා ඒවායේ ගමන් ගන්නා වුන් හොදාකාරවම දනී.

බස් රථයේ බිම තහඩුව මතට කාසි වැටෙන හඬ ඇසුනි…බසට ඉදිරියට ගියේය…

මා සුපුරුදු පරිදි ගමන් ගතීමි….ඉදිරියෙන් ඇත්තේ මා හැමදාම ගොඩවී යන ලස්සන අක්කලා සිටින ෆාර්මසියයි…මා එයද පසුකර ගියෙමි..

“ඇයි උඹ අද කාඩ් ගන්නැද්ද?”

“නෑ බං අද සල්ලි නෑ..”

%d bloggers like this: