Menu Close

බිසරු ලියන් මැද මදන තෙදින් යුතු මානණිය

බන්දුල නානායක්කාරවසම්ගේ ගී පද රචනයෙන්ද නවරත්න ගමගේගේ සංගීතයෙන් ද සමන් ජයනාත් ජිනදාසගේ ගායනයෙන්ද හැඩවී ඇති මෙම ගීතය සිංහල ගීත අතර විරල, ශෘංගාර රසය දනවන විශිෂ්ට නිර්මාණයකි.



Francis Gabriel Lepaulle (French, 1804-1886) – The Pasha and his Harem

අල්පයක් වූ ශෘංගාර රස ජනනය කරන සිංහල ගීත අතරින්ද මෙම ගීතය සුවිශේෂී ය. ශෘංගාර රසය දනවන සිංහල ගීත බොහොමයක තේමාව වන්නේ පෙම්වතුන් යුවලකගේ එක්වීම හා බැඳුනු සිදුවීම් ය. එහෙත් බන්දුල නානායක්කාරවසම් මෙම ගීතයට තේමා කොට ඇත්තේ අබිසරුලියන් රැසක් මැද සිටින හද සසල කරන තරමේ රුවැති තවත් අබිසරුලියක් පිළිබඳ පුද්ගලයෙකුගේ සිත්හි ඇතිවන ශෘංගාරජනක හැඟීම් ය. මෙවැනි තේමාවක් සිංහල ගීතයකට වෙනත් කිසිදු විටෙක විෂය වී ඇත්දෝයි සැක සහිතය.



බිසරුලියන් මැද රුසිරු සුපුල් වත

සසලකරයි හද මානණියේ..
මදනතෙදින් ඉඳු සදිසි යොවුන් ලඳ
බඳිනුතදින් හිත දේහිනියේ.

අබිසරුලියන් මැද සිටින සුරූපිනිය හද සසල කරයි. ඇය ආඩම්බරකාරියකි. කාම තේජසින් සූර්යයා සේ බබලයි. සිත ඇය වෙතම බඳවා තබා ගනියි.

රතදරපියුමෙහි රොන්සුණු වැගිරෙත, කෙලෙසද හැඟුමන් මැඩලන්නේ

උතුරායද්දෙන් රොන්කඳ මදු යානේ, හිමකර සෙවනේ එක හීනේ
නුඹසතපමිනාවා අමරති රණ ලෝලේ…..

ශෘංගාරය උතුරා යන මෙම සර්ගය කව් සිළුමිණෙහි මදුපානෝත්සවය සිහි ගන්වයි. රචකයා තොල් ආලේපන සම කරනුයේ දෙතොල් නම් පියුමෙහි රොන් වැගිරෙන ලෙසය. ඔහුගේ සිහිනය, පුන්සඳ සෙවනේ ඇය හා රති කෙලියේ යේදීම යි. එය සියුම් මනෝභාවයන් සන්තෘෂ්ඨ කරවන සෞම්‍ය ලිංගික සුවයක් නොව, රණ කෙළියක් සේ  ප්‍රචණ්ඩ ක්‍රියාවලියකි.

විපුලිතලැම රණ හංසතුඩට කිම, දුහුල් සළුව හිරිහැර දෙන්නේ

වියැකී යද්දෙන් සළුපට වාගේ, මගේ සරාගී සෝතාපා..
නුඹරන්බඳ මා හා  සයනිතරෑ යාමේ…..

කාමයෙන් උද්දීපනය වූ පියයුරු තුඩට දුහුල් සළුව හිරිහැරයක් යැයි රචකයා කියයි. කෙතරම් අලංකාරවත් යෙදුමක් ද? එම සළුපට වියැකී යනු ලෙසම තමන්ගේ කාමාග්නිය නම්වූ සෝ තැවුල් නිවී යනු ඇතැයි යන්න කථකයාගේ අපේක්ෂාවයි.

සංගීතයෙන්ද ගායනයෙන් ද පදමාලාවට සාධාරණත්වයක් ඉටුවී ඇත. නර්තනය, වින්දනය සහ උත්සව තේමා කරගත් සංගීතයක් ගීතයේ ආත්මය හා බැඳී ඇත. ඒ ඉපැරණි මධුපානෝත්සව හා සබැඳුණු සාම්ප්‍රදායික සංගීතයේ එළිය ලබා ඇත. නවරත්න ගමගේගේ සංගීතය තුළ භූපාලි රාගයේ සේයාවන් දක්නට ලැබේදෝ යි ද සිතෙයි.
සමන් ජයනාත් ජිනදාස ඔහුට ම අනන්‍යවූ හඬ පෞර්ෂයක් විදහා දක්වන ගායකයෙකි. ඔහුගේ හඬ ශාස්ත්‍රීය සංගීතය හා මුසු වන්නේ නිරායාසයෙනි. මෙම ගීතයේද ඔහු පදමාලාව ඉල්ලා සිටින ඒ සාම්ප්‍රදායික ස්වර ගයයි.

බන්දුල නානායක්කාරවසම් ගීතයට යොදාගෙන ඇති තේමාව තරමක් විවාද සම්පන්නය. සුචරිතවාදීන් සිංහල හර පද්ධතියට අනුකූල නොවන බවට මතවාද ඉදිරිපත් කිරීමට ඉඩ ඇත. සාම්ප්‍රදායික සම්භාව්‍ය සිංහල භාෂාවක් යොදා ගැනීම නිසාදෝ ගීතය එවැන්නන්ගේ අවධානයෙන් ගිලිහී ඇත. එහෙත් කුහක වික්ටෝරියානු බෞද්ධ සදාචාරයෙන් “හික්මීමට” පෙර අප නිදහස්කාමී ජනතාවක් වූ බව මෙම ගීයද අපට සිහි ගන්වයි.


පද රචනය  : බන්දුල නානායක්කාරවසම්
ගායනය     : සමන් ජයනාත් ජිනදාස
සංගීතය     : නවරත්න ගමගේ

%d bloggers like this: