Menu Close

ප්‍රියේ නුඹ ම උපනූපන් ජාති හමුවේවා….


එදා අපි උන්නෙ ඉමක් නිමක් නැති ගමනක… ඔයාට මතකද? ඉසව්වක් ගැන නිනව්වක් නැතිව සුක්කානම හැරවුණු අත ඔහේ ඇදී ගිය ඒ සුන්දර දවස් ආයෙ කිසිම දවසක හමුනොවනු ඇත්ද? අපේ ආදරයේ ලස්සනම දවස්වල මතක දිගෑරෙන හැම මොහොතකම ඒ හැම හුස්මක් ගාණෙම වික්ටර් රත්නායකයන්ගෙ ගී හඬත් ඇහෙන්නට ගනීවි… මට විශ්වාසයි ඔයාටත් එහෙම ම වේවි…

එදා ඒ ගීතය මුල් ම වරට සවන ගැටෙද්දි මුලින්ම මං තිගැස්සුණේ ඇතුළතින්… වැඩියක්ම එහෙම වුණේ ‘‘එක වහළක් යට එකට දකින්නට‘‘ වචන ටික හීන් සීරුවෙ හිතට ඇතුළ් වෙලා තුන් හිතම කොනිත්තන්න ගත්තම. හුරු හඬින් ගලා ආ නුහුරු වදන් පෙළ හිත පත්ළෙම ලැගුම් ගත්තා. මගේ කතා පෙට්ටියට අගුළු වැටුණා… මං ගීතයේ දැහැන්ගත උණා. ඔයත් එහෙම ම වෙන්න ඇති. අපි දෙදෙනාම නිශ්චලත්වයක ගිලී ගියා. කතා කළේ ගී හඬත්, ස්වර නදත් පමණයි.

මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ
කැලුම් දිදුලවන සරා සුපුන් සඳ
එක වහළක් යට එකට දකින්නට
පූරුවෙ කල පින් මහිම කියන්නට
ප්‍රියේ නුඹ ම උපනූපන් ජාති හමු වේවා…

හඳ එළිය දෝරෙ ගලන රැයක ඔය හුස්ම වැටෙන මානෙක ඉන්නට තිබුණා නම් හඳටත් ඉරිසියා හිතෙන තරමට ආදරය පිටාර ගලන බව නිසැකයි. ඒත් එකම හඳ එක වහළක් යට විතරක් නෙවි, එකම අහසක් යට එක ළඟින් ඉඳන්වත් දකින්න පින් නැති දෙදෙනෙක් අපි… තවත් ආත්මභවයක් ගැන පැතුම් පතන්නෙ කොහොමද? මේ පමා වූ හමුවීම පවා අප්‍රමාණ රිදුමක් වූ විට… 

කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී
පැතූ පැතුම් පෙල දැවී ගියාවූ
ජීවිතයට ඔබ අලුතින් එක් වී
මා ජීවත් කර සතුට ගෙනා වූ
ප්‍රියේ නුඹ ම උපනූපන් ජාති හමුවේවා….

ආදරය ගැන දුටු දහසක් සිහින බොඳ වී, යළි පෙමක නොපැටලෙන්නෙමැයි ප්‍රතිඥා දී තිබූ හුදකලා ජීවිතයට අලුතින් එක් වූ ඔබ මා ජීවත් කරවන්නට සතුට ගෙනා හැටි කෙලෙස නම් අමතක කරන්නද? 

හීන දකින්නෙ මං වුණාට ඒ හීන මටත් වඩා අරපරිස්සමට මතකයේ තැන්පත් කරල තියාගන්නෙ ඔයා… හීනවලම ජීවත් වෙනවා කිය කියා ඇනුම් බැනුම් කෝටියක් දිගාරින අතරම, ඒ හීන හැබෑ කරල දෙන්නෙ කොහොමද කියල හීන දකින්නෙත් ඔයා… ඒ ඔයාගෙ විදිය… වික්ටර්ගෙ හඬට, ඒ අපූර්ව ගී ගඟුලට මගේ ඇල්ම කොතරම් ද? මගේ ඇල්ම ඔබේ බැල්මට හමුවීම කොතරම් අපූරුද!!!! හමුවන හැම මොහොතකම ඒ ගී හඬ අප අතරින් ගලා ගියා, හරියට දෙව්දූත ගීතිකාවන් වගේ… ඒ ඔයා ආදරය පෙන්වන එක විදියක්… 

ගීතය නිමවෙද්දි මගේ ඇස් තෙත් වෙලා.. 

‘‘ආයෙම වතාවක් ඒ සින්දුව දාන්න..“

මම එලෙස පැවසුවේ ඒ සියුම් වේදනාවේ, ශෝකාලාපයේ යළි යළිත් ගිලී යන්නට ඇති කැමැත්තෙන්.

‘‘ඇහුවට කමක් නෑ.. හිත රිද්දගන්න එපා..“ නැවතත් එකී ගීතයම හිස් අවකාශයට මුදාහරිමින් ඔබ කිව්වා. එතරම්ම මගේ හිත කියවන ඔබ ම මා රිදවන තරම්…

කිළිටි මගේ අත ඔබට සුදූසු නැත
එබැවින් වෙනතක බැඳුනද කම් නැත
එනමුඳු මෙලොවෙහි නැවත උපන් කළ
ඒ අත් භවයෙන් එළිය දකින්නට
ප්‍රියේ නුඹ ම උපනූපන් ජාති හමුවේවා…

‘‘ඒ ටික මෙහෙමයි කියන්න ඕන.. ‘බොළඳ මගේ හිත ඔබට සුදුසු නැත‘ කියල…‘‘ මම සිනාසුණා මතකයි. 

සත්‍යයත් එයමයි… මේ බොළඳ හිත නිසා ඔබ අවුල් වෙන තරම්!!! මා විඳවන තරම්!!! ඒ අවුල් වියවුල් නිසා අපේ ආදරේ කැළැල් වේවි කියන බයටයි මං ඔයාට කියන්නේ.. මාව අමතක කරන්න, ඔයාට ගැළපෙන කෙනෙකුට ආදරය කරන්න කියල. ඇත්තටම එහෙම ඔයාට යන්න දෙන්න හිත හදාගෙන නම් නෙවෙයි..

‘‘මං හිතුවෙ ඒක කියන්නෙ මගේ පැත්තෙන් කියල.. ‘කිලිටි මගේ අත ඔබට සුදුසු නැත.“

ඔබ පිළිවදන් දෙන්නෙ කල්පනාබරව…

ඔබේ ගෙටත් උඩ, මගේ ගෙටත් උඩ කැලුම් දිදුළුවන සරත් සඳ දකින හැම මොහොතකම දෙතැනක උන්නත් අපට අපේ හිත් එකම රිද්මයකට ගැහෙන වග සිහිපත් වේවි. එකම වහළ යට එකට හිඳින්නට පින් නැති වුණත් එකම අහස යට හමු වූ ඒ පුංචි නිමේෂයන් ජීවිතයට අස්වැසිල්ලක් ගෙනා වග සඳ සිසිල මැද හැමදාම මා සිහිපත් කරන්නම්… 

පද මුසුව                 – ප්‍රේමකීර්ති ද අල්විස්
ස්වර සහ හඬ මුසුව – වික්ටර් රත්නායක

%d bloggers like this: