Menu Close

ඔසු උයනට සමුදීම ( සාරාර්ත 2)


එදා නතර කරපු තැනිනුයි අද පටන් ගන්නෙ. ඒ කියන්නෙ ඔසු උයනට ගිනි තියපු තැනින්…

ඔන්න ඉතින් අපේ කතාව අතරතුර යාලුවෙක් කෑ ගැහුවා මෙන්න ගිනි ගන්නවා කියලා. ඒත් එක්කම අපිට පෙනුනේ හුලඟට ඒ මේ අත වැනි වැනී තේක්ක ගස් වල උඩ තියන අතුත් අල්ලගන්න හදන ලොකුම ලොකු ගිනි ගොඩක්. ඇත්තටම උන් හිටි තැනත් අමතක වුනා කියල කිව්වොත් වැරදි නෑ. මුලින්ම අපිට අමතක වුනා අපි දැන් මොකද කරන්නෙ කියලා. ඉතින් හැමෝම තමන්ට හිතුනු හිතුනු  දිහාවකට දුවන්න පටන් ගත්තා… ඒ අතරෙ එක එක්කෙනා ඇඟේ  හැප්පිලා වැටෙන්නත් ගත්තා. මිනිත්තු දෙක තුනකට පස්සෙ හැමෝටම මීටර් වෙන්න ගත්තා මේ ගින්න කෝම හරි නිවන්න ඕනෙ කියලා. ඉස්කෝලෙ පොදු දේපලනේ. පන්ති තහනමකට ලක් වෙන්නත් බැරි නෑ. 

ඉතින් හැමෝම වතුර ගන්න ටැප් එක ලගට දිව්වා. ඒත් ටැප් එකෙන් වතුර ආවට වතුර දාගෙන යන්න බාස්කට් එකක් වත් නෑ. හීනෙකින්වත් මෙහෙම දෙයක් හිතුවෙ නැති නිසා පෙර සූදානමක් තිබුනෙත් නෑ. එතකොට තමයි දෙවියො බලල වගේ මල් ගස් වලට වතුර දාන්න කියල පරිසර විද්යාගාරෙන් ඉල්ලගෙන ආපු මල් බාල්දි දෙක විරාජමානව වැඩහිදිනව දැක්කෙ. ඉතින් ලැවු ගින්නකට පොද වැස්සක් ඉහිනව වගේ අපි ගින්න නිවන්න ගත්තා… අපේ ගිනි නිවීම කෙසේවෙතත් ඔක්කොටම ගිනි ඇවිලුනාට පස්සෙ ගින්න ඉබේම නැවතුනා. සාරාර්තෙට තිබුනෙ සති 3කටත් අඩු කාලයක්. මොනවකරත් ඔසු උයන ආයෙ ගොඩ ගන්න බෑ කියල නම් අපි හැමෝටම ඒ වෙද්දි තේරිලා තිබුනේ.

ගෙදර යන්නවත් හිතක් නැතුව දවසම ඔසු උයනට වෙලා අපි කල්පනා කරේ මැඩම්ට මොනාද හෙට කියන්නෙ කියලා. අන්තිමට හිතල හිතලා මුල ඉදන් වුන හැමදෙයක්ම මැඩම්ටත් කියනව කියලා හිතාගෙන අපි සතුටින් විසිර ගියා. සතුටින් විසිර ගිය කිව්වට කාටවත් එදා රෑ නින්ද ගිහින් තිබුනෙ නම් නෑ.

ඔන්න ඉතින් පහුවදා උදේමත් අපි ගියෙ ඔසු උයනට.ඒක හරියට කලින්දා රෑ බෝම්බයක් ගහපු සොහොන් පිටියක් වගේ දැකුම් දසුනක්. හැමතැනම විසිරෙන අලු, කලු පාට වුන ගස් වල කදන්, සොහොන් කොතක් විතරයි අඩු වෙලා තිබුනේ. ඉතින් අපි හැමෝම බිම බලාගෙන ගියේ බයෝ ලැබ් එකට මැඩම්ව හම්බෙන්න. ගිනි තියන්න අදහස දුන්නෙ මම නිසා පෝලිමේ ඉස්සරහින්ම ඉන්න සිදු වුනෙත් මට. ඔසු උයන හදන්න පටන් ගත්තු දවසෙ ඉදලම කියන්න හිතාගෙන ගියත් මට කියවුනේ වෙනස්ම දෙයක්. ‘ මැඩම් අපි ඔසු උයන අත් ඇරලා අපිත් හදවත හදන්න එකතු වෙමුද’ කියල. ඒක කිව්ව්ම මැඩම්ගෙ ඇස් දෙක නලලට යයි කියලා අපිට හිතුනත් මැඩම් කරේ හිනාවෙන එක. 

‘අනේ පුතේ මාත් ඔයාලට ඕක කියන්නමයි හිටියෙ. ඒත් ඔයලා හරිම ආසවෙන් ඒකෙ වැඩ කරපු නිසා මටත් කියාගන්න බැරුව හිටියෙ’ කියලා කියද්දි නම් අපිට හිතුනේ කෑ ගහල අඩන්න. මාසෙක විතර ඉදන් මැඩම්ගෙ  හිත රිදවන්න බැරි කමට අව්වෙ කර වෙවී, නොකා නොබී, ගෙවල් වලදිවත් නොකරන වැඩ කොච්චරක් ඔසු උයන වෙනුවෙන් අපි කරාද? මැඩම් පව් කියලා හිතලා අපි මැඩම්ට මුකුත් කියල නෑ. අපි පව් කියල හිතලා මැඩම් අපිට මුකුත් කියල නෑ.

මොනා වුනත් පෙර පිනකට හරි සාරාර්තෙට සති දෙකක් විතර තියලා අපි ඔසු උයනෙන් ගැලවුනා. ඊට පස්සෙ හදවතින්ම හදවතට වැඩ කරා. හැමෝම පුදුමකරවන විදිහෙ හදවතක් හදලා මැඩම්වත් සතුටු කරා. ප්‍රදර්ශනේ අතරතුරදි මම මගේ විස්තර කුටිය ලග තිබුනු කවුලුවෙන් එලිය බැලුවා. වෙනදා වගේම ආදරෙන් ඔසු උයන අපි දිහා බලන් හිටියා……

%d bloggers like this: