Menu Close

කඳුලු සලන එන්ජින් – දැවැන්තයන්ගේ අවසාන ඉරණම

Pic – Lanil Thilanjana
යටත් විජිතසමයේදී භාණ්ඩ ප්‍රවාහන පහසුකරගැනීම උදෙසා මෙරටදී ආරම්භ කරන ලද දුම්රිය සේවය කලින් කලට විවිද අංශවලින් දියුණුවට පත්වීමත් සමග එහි භොතික සම්පත් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩිවන්නට විය. බලයෙන් වැඩි එන්ජින්, සේවා යන්ත්‍ර ආදී නොයෙකුත් යන්ත්‍රසූත්‍ර, මැදිරි හා ගැල්, උපකරණ ආදී නොයෙක් දෑ ඒ අතර විය. ඉතා කාර්යක්ෂම සේවාවක් සැපයීමෙහිලා මේවා දුම්රිය සේවයට නැතිවම බැරි දෑ වූ අතර ඉන් බොහෝ ප්‍රමාණයක් ඒවායේ අපේක්ෂිත ආයුකලය මෙන් දෙගුණයකටත් වඩා කල් තම සේවය ඉටුකල විශිෂ්ඨ ගණයේ යන්ත්‍රසූත්‍ර/ උපකරණ වීම විශ්මයට කාරණයකි. මෙයින් සමහරක් දෑ දේශීය නිපැයුම් වූ අතර තවත් ප්‍රමාණයක් මෙරටදී එකලස් කර ලද ඒවා වීමද විශේෂත්වයකි.

යටත් විජිත පාලකයන් මෙරට හැරයද්දි ඔවුන් විසින් පාලනය කල බොහෝ දෑ ස්වදේශිය පාලනයට නතුවූ අතර, දුම්රිය සේවයට ඉන් ප්‍රමඛ ස්ථානයක් හිමිවේ. එසේ මෙරරට ලැබුනු දුම්රිය සේවය වර්තමානය වන විට පෙරට වඩා දියුණුවක් ලබා ඇති බව අවිවාදයෙන් පිලිගත යුතුය. එසේ ආ ගමන් මග අතරතුර දුම්රිය සේවයට එක්වූ ආදරණීය සැමරුම් ප්‍රමාණය විශාල අගයකි. මේ අතුරින් ප්‍රධානම ස්ථානය නිසැකයෙන්ම හිමිවන්නේ දුම්රිය එන්ජින් වලටය. නිතැතින්ම බොහෝ දෙනෙකුගේ සිත් ඇදගන්නා මේම අරුමපුදුම යන්ත්‍ර විශාල ප්‍රමාණයක් වරින් වර මෙරට දුම්රිය සේවයට එක් වී ඇත. දුම්රිය එන්ජින්, වාෂ්ප එන්ජින් සහ ඩීසල් එන්ජින් ලෙස ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ගකල හැකිය. මේ දෙවර්ගයේම එන්ජින් මෙරටදී භාවිත කර ඇති අතර මේ වනවිට එදිනෙදා ධාවනයට යොදගනුයේ ඩීසල් එන්ජින් පමණි.

වාෂ්ප එන්ජින් දෙසීයකට වැඩි ප්‍රමාණයක් වරින් වර මෙරටට ගෙනවිත් තිබේ. තැනිතලා මාර්ග වල, උඩරට මාර්ගයේ පමණක් නොව තියුණු නැග්මක් සහිත උඩුපුස්සැල්ලාව මාර්ගයේ පවා මෙම වාශ්ප එන්ජින් භාවිතා කරන ලදී. දුම්රිය සේවය ඩීසල්කරණයට නතු වනතුරු දෛනික දුම්රිය සේවා සදහා යොදාගත්තේ මෙම වාශ්ප එන්ජින්ය. ඩීසල් එන්ජින් වල ආගමනයත් සමග මෙම දැවැන්ත අගුරු යෝධයන්ගේ සේවය අවසන් කරන්නට දුම්රිය බලධාරින් කටයුතු කල අතර වාෂ්ප එන්ජින් බොහොමයක් තැනින් තැන අත්හැර දමන ලදී. මෙසේ අත්හැර දැමුයේ නිකම්ම නිකම් යකඩ ගොඩවල් යැයි ඇතැමෙකුට සිතෙන්නට ඇති මුත් එය සැබැවින්ම එසේද?

දුම්රියක් යනු නිකම්ම නිකම් වාහනයක් යැයි ඔබය සිතෙන්නට පුලුවන් වුවද එය සහමුලින්ම වැරදි මෙන්ම ම්ලේඡ්ච අදහසක්යැයි කීමට පසුබට නොවන පිරිස බොහෝය.  දුම්රිය සමග ඉතිහාසයක්, ජන සමාජයක් ආදී සියගනනක් දෑ එකට බද්ධව පවතී. දශක ගණනාවක් තිස්සේ ඒවා මෙරට මාර්ග වල ධාවනය වුයේ මෙරට දියුණුව උදෙසාය. තමා සේවය කල එන්ජිමට පණමෙන් සැලකූ දුම්රිය සේවකයන්ද එකල දුලබ නොවීය. එබැවින් මෙසේ තැන තැන අත්හැර දැමුනේ යකඩ ගොඩක් පමණක් වේද? 

මෙසේ අත්හැර දැමුණු එන්ජින් අතර ඉතා වටිනා එන්ජින් රාශියක් විය. හොදම උදාහරණය වන්නේ අංක 293 දරණ බේබි ගැරට් ලෙස හැදින්වුන Bayer Peacock වර්ගයේ පටු ආමාන එන්ජිමයි. ගැරට් එන්ජිම විශේෂයෙන් සකසා ඇත්තේ කඳුකර මාර්ගයන්ට ඔබින පරිදිය. උඩුපුස්සැල්ලාව නානුඔය මාර්ගයේ සීග්‍ර නැග්ම සඳහා විශේෂයෙන් නිපදවන ලද මෙම එන්ජිම මෙලොව එම වර්ගයේ එකම පටු ආමාන ගැරට් එන්ජිම විය. එනම් එම සමාගම එවැන්නක් නිපදවන ලද්දේ අප වෙනුවෙන් පමණක් වීමය. 

උඩුපුස්සැල්ලාව මාර්ගය වසා දැමීමත් සමග කොළඹට ගෙනා මෙම එන්ජිම කාලයක් කැළණිවැලි මාර්ගයේ ධාවනය කරන ලදී. එහෙත්, දුම්රිය සේවයේ වටිනාම මහාර්ඝ වස්තුව වීමට ඉඩකඩ තිබූ මෙම එන්ජිමට මුහුණ දීමට සිදුවුයේ අදහාගත නොහැකි වූද, මහත් අභාග්‍ය සම්පන්න වූද, ඉරණමකටය. මෙවන් වටිනා වස්තුවක වටිනාකම නොදත් නිලධාරින් කිහිපදෙනෙකු නිසා එය හොර රහසේම පැරණි යකඩ වලට කැපී ගියේ ඒ පිලිබඳ මතකය සදහටම ඡායාරූප ලෙස පමණක් ඉතිරි කරමිනි.
293 පටු ආමාන ගැරට් එන්ජිම
Pic – David Hytte
ඒ එකක් පමණි. වාශ්ප එන්ජින් හැරුණුකොට මෙරට භාවිතා කරන අනෙක් එන්ජින් වර්ගය වනුයේ ඩීසල් එන්ජින් වන අතර එසේ බාවිතා කරන එන්ජින් කාණ්ඩ ගණන තිහකට ආසන්නය. ඒවා විවිධ ධාවන පන්ති වලට බෙදා ඇති අතර ඉන් එක් සුවිශේෂී එන්ජින් දෙකක් මෙරටදී නිපදවන ලද ඒවාය. M3-589 සහ 590 ලෙස නම් කරන ලද එම එන්ජින් දෙක වර්ෂ 1956දී මෙරටදී නිපදවන ලද්දේ භාවිතයෙන් ඉවත් කල දුම්රිය කොටස් යොදාගෙනය. වර්ථමාන ප්‍රමුඛතම දුම්රිය නිශ්පාදකයකු වන අසල්වැසි ඉන්දියාව ඒ වන විට දුම්රිය නිෂ්පාදනය ගැන සිතා හෝ තිබුනාද යන්න සැක සහිතය. ඒ අනුව එම M3 වර්ගයේ දුම්රිය එන්ජින් දෙකද ධාවනයෙන් ඉවත් කල පසු සුරැකිව යුතුව තිබුණද මනා දුරදක්ණා නුවනකින් යුතු නිලධාරින් නිසා එම එන්ජින් දෙකටද හිමිවූයේ සුපුරුදු ඉරණම මය.  ඊට අමතරව S1, S2, S3, S4 ආදී බලවේග දුම්රියන් වලටද අත්වූ ඉරණම වුයේ එයයි.
M3 589 එන්ජිම
Pic – Internet
මෙසේ දුරදිග කල්පනා නොකරන අවස්ථාවාදී නිලධාරින් නිසා දුම්රිය සේවයේ වටිනා ඉතිහාසගත සම්පත් රාශියක් කලින් කල අහිමි විය. දුම්රිය කෞතුකාගාරයක් පිළිබදව දශක ගණනක් තිස්සේ සිහින දකින අප, එම සිහිනය සැබෑ වන දාට එහි ප්‍රදර්ශනය කරන්නේ පෑ තැටි, සිග්නල් පුවරු, පැරණි පොල්තෙල් වැගන් ආදිය පමණක්ද? දුම්රිය එන්ජින් වලින් තොර දුම්රිය කෞතුකාගාරයක් යනු බලධාරීන්ගේ හෙළුව මනාව පෙන්වන ප්‍රතිමාවක් බඳුයැයි බොහෝ දෙනා කියන්නේ එනිසාය.

බොහෝ සම්පත් මේ වන විට අපට නැතිවී ඇති බව සැබැවකි. දැන් හෝ අපට ඉතිරිව ඇති සම්පත් හෝ රැක ගැනීමට බලධාරීන්ගේ මෙන්ම සිත්පිත් ඇති සැමගේම අවධානය යොමුවිය යුතු කාලයයි.  එක් අයෙකුගේ හෝ සුලු පිරිසසකයේ වුවමනාවට මෙම වටිනා සම්පත් විනාශ වීමට ඉඩ හැරීම සාධාරණද? වැටකොටු ගසා සුරැකිය යුත්තේ පුරාවිද්‍යා ස්මාරක පමණක්මද?

පැරණි නාවලපිටිය ධාවනාගාරය ක්‍රියාත්මක සමයේ අංක 347 ගැරට් එන්ජිම
Pic – http://www.internationalsteam.co.uk/articulateds/garrattsasia.htm
මෙරටට ගෙන ආ පුලුල් ආමාන ගැරට් යන්ත්‍ර ප්‍රමාණය ගණනින් අටකි. මේ වන විට එයින් හයකටම සිදුව ඇත්තේ තම කුඩා සගයාට අත්වූ ඉරණමමය. ඉතිරිව ඇති ගැරට් යන්ත්‍ර දෙකද ඇත්තේ යලි කිසිදාක ධාවනක නොකල හැකි තත්වයේය. එහෙත් එම යන්ත්‍ර දෙක ශ්‍රී ලාංකිය අතීත දුම්රිය සේවයේ මහේශාක්‍ය බව පෙන්වන කැඩපත් දෙකකි. මේ ඉතිරි එන්ජින් දෙක ද බොහෝ විට නුදුරු අනාගතයේදී යකඩ වලට කැපී නොයනු ඇතැයි කාටනම් සහතික විය හැකිද?

ධාවනාගාර භුමියේ ඇති ගැරට් එන්ජිම

රත්මලාන කර්මාන්තශාලා භුමියේ ඇති ගැරට් එන්ජිම
කැළණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය කර පටුආමාන රේල් කාර් රථයක් දුම්රිය ධාවනාගාරය සතුව ඇති අතර ධාවනයෙන් ඉවත් කරන විටත් එය හොඳ ක්‍රියාකාරීත්වයේ පැවතී ඇත. කෙසේ වුවද මේ වන විට නිසි සැලකිල්ලක් නොලැබ ඇති එය ඇත්තේ විනාශ මුඛයේය.

V3 පටු ආමාන වාෂ්ප රේල් කාරය
දැනට ක්‍රියාකාරී තත්වයේ ඇති එකම පටු ආමාන වාෂ්ප එන්ජිම වනුයේ කැළණිවැලි මාර්ගයේ ධාවනය කරනු ලැබ සේවයෙන් ඉවත් කර තිබී මෑත කාලීනව අලුත්වැඩියා කරන ලද J1-220 පටු ආමාන වාෂ්ප එන්ජිමයි. එය අනිවාර්යයෙන් සුරැකිය යුත්තේද ඒ නිසාමය. එහෙත් එහි ඉරණම කෙසේ විසඳේදැයි දන්නේ බලධාරීන්ම පමණකි. 

J1 -220 එන්ජිම
දේශියව නිපදවන ලද Y1 එන්ජිම. (එකක් පමණක් ඉතිරිව ඇත. ධාවන තත්වයේ නැත)
රත්මලාන කර්මාන්තශාලා භූමියේ ඉතිරිව තිබු අවසාන S2 සලකුණ.
(යලකට පෙර පැරණි යකඩ වලට කපන ලදී)
Pic – Deep Kalhara 
S3 බලවේග දුම්රිය. (මේවන විට එකක් හෝ ඉතිරිව ඇතිදැයි සැක සහිතය)
N1 පටු ආමාන ඩීසල් එන්ජිම
දේශියව නිපදවන ලද ML1 මිනි ලොකෝව (දැනට ධාවනයේ නැත)
ශ්‍රී ලංකාවට මිලදීගත් පලමු ඩීසල් එන්ජිම
G1-500 (ධාවන තත්වයේ නැත)
ශ්‍රි ලංකාවේදී සකසන ලද විදුලි දුම්රිය එන්ජිමේ නටඹුන්

S6 බලවේග දුම්රිය (ධාවනය නොකෙරේ)
S7 බලවේග දුම්රිය (ධාවනය නොකෙරේ)
M1 වර්ගයේ දුම්රිය එන්ජින් වලින් ඉතිරිව ඇත්තේ මෙය පමණි.
යම් දිනක කෞතුකාගාරයක් තනන්නේ නම් ඒහි ප්‍රදර්ශනය කිරීම සඳහා එක් වර්ගයකින් එක් දුම්රිය එන්ජිමක්, මැදිරියක් ලෙස එකක් හෝ සුරැකීමට දුම්රිය බලධාරීන් අපොහොසත් වන්නේ මන්දැයි දුම්රිය පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ දෙනා උගතෝකොටිකව ප්‍රශ්න කරති.

දුම්රිය සේවාවන් සහිත බෙහෝ රටවල් දුම්රිය කෞතුකාගාර උද්‍යාන ඇති කර ඒවායින් තව තවත් ලාභ උපයද්දි මෙරට දුම්රිය බලධාරීන් හැකි සෑම කොටසක්ම යකඩ ලෙස කපාදැමීම සිදු කරන්නේ දුම්රිය කෞතුකාගාර කමිටුවක් පවා මෙරට තිබියදී වීම විමතියට කරුණකි. ඒ සඳහා අවශ්‍ය ඉඩ කඩ පහසුකම්ද දුම්රිය සේවය සතුව ඕනෑ තරම් තිබේ. එක් අතරකට සෑම දෙයක්ම දේශපාලනික වී ඇති මෙවන් යුගයක එවැන්නක් බලාපොරොත්තු වීමද විහිලුවකි.

York Railway Museum (30 of 44)

Inside the world’s largest railway museum you’ll find over 300 years of world railway history.

ඉතිරිව ඇති සම්පත් ප්‍රමාණය හෝ ඉතිරි පරම්පරාවට දැක ගැනීමට ඉතිරි කරන ලෙසත් ඒවා කෞතුකාගාර බිමක ස්ථාන ගත කරන්නේනම් එය බොහෝ පිරිසකගේ අමන්දානන්දයට පත්වන කාරණාවක් වනු ඇත. එහෙත් මේ රටෙහි කිසිදු දෙයක් නිෂ්චිත නැත. මේ ලියන මොහොත වන විටත් මෙම ඉතිරි සම්පත් වලද ඉරණම විසඳී තිබෙන්නට පුලුවන. තවත් වටිනා සම්පත් රැසක් අපට අහිමිව යන දිනය වැඩි ඈතක නොවනු ඇත. අවස්ථාවාදී මිනිසුන් මුල්පුටු වල වැජඹෙන දැයක ඉරණම එයයි.

%d bloggers like this: