Menu Close

෴G1 class ෂන්ටින් එන්ජිම – මෙරට දුම්රිය සේවය සඳහා මිලදීගත් මුල්ම ඩීසල් එන්ජිම෴

මෙම ලිපිය වෙන් වන්නේ මෙරට දුම්රිය සේවයේ තවත් එක් ඉතිහාසගත සලකුණක් පිලිබඳව සටහනක් තැබීමටයි. ඒ අන් කිසිවක් නොව මෙරට දුම්රිය සේවය වෙනුවෙන් මුල්ම වරට මිලදීගත් ඩීසල් දුම්රිය එන්ජිම පිලිබඳව විස්තර සටහනක් තැබීම වෙනුවෙනි.

  • දුම්රිය පන්තිය                 – G1
  • ගෙන්වූ වර්ෂය                 – 1934
  • නිශ්පාදිත රට                – එංගලන්තය (Armstrong Whiteworth)
  • දුම්රිය එන්ජින් වර්ගය        – Diesel Electric
  • බල සැපයුම් එන්ජිම           – Saurer 6BXD
  • උපරිම බලය                    – 120hp – 1400RPM
  • උපරිම වේගය                   – 32 km/h
  • Axle Arrangement           – 0-4-0
  •  බර                                – 20 Tons
  • වර්ණය (වර්තමාන)          – රතු සහ සුදු
  • එන්ජිමේ දිග                      – අඩි 17 1/2
  • දුම්රිය එන්ජින් ගණන         – 1 (No 500)
ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය විසින් තම භාවිතය සඳහා පළමුවෙන්ම මිලදීගත් ඩීසල් දුම්රිය එන්ජිම ලෙස මෙම G1 ධාවන පන්තියේ කුඩා ෂන්ටින් එන්ජිම ඉතිහාසයට එක්වේ. එමෙන්ම මෙය මෙරට පුලුල් ආමාන දුම්රිය මාර්ගයක ධාවනය කරන ලද කුඩාම එන්ජිම, බරෙන් අඩුම සේම බලයෙන් අඩුම එන්ජිම ලෙසද සැලකිය හැකිය. වර්ෂ 1934දී එංගලන්තයේ Armstrong Whiteworth සමාගම විසින් නිපදවනු ලද මෙය එවකට “ලංකාණ්ඩුවේ දුම්රිය සේවය” යනුවෙන් හැඳින්වූ මෙරට දුම්රිය සේවයේ ෂන්ටින් කටයුතු සඳහා යොදවා ගැනීමෙන් අරමුණින් ගෙන එන්නට ඇතැයි සැලකිය හැකිය. 

වර්ෂ 1930 පමණ වන විට මෙරට ප්‍රධාන දුම්රිය කර්මාන්ත ශාලාව රත්මලාන ප්‍රදේශයේ ඉදි කරන ලද අතර මෙම එන්ජිම එහි අභ්‍යන්තර ෂන්ටින් කටයුතු සඳහා යොදාගෙන ඇති බව කියවේ. ඒ හැරුණු කොට මෙමගින් දුම්රියන් ධාවනය කරවූ බවක් දැනගන්නට නැත.  (ෂන්ටින් එන්ජිමක කාර්ය භාර්යය දැනගැනීමට මෙම ලිපිය කියවන්න) තවද අඩු බල ඩීසල් එන්ජිමක් වන මෙහි ඇත්තේ එක් ට්‍රැක්ෂන් මෝටරයක් පමණි. මුල්නිපැයුමෙහි වූයේ Saurer 6BXD වර්ගයේ අශ්ව බල 120 ඩීසල් එන්ජිමක් වූ අතර වර්ෂ 1960දී මෙම එන්ජිමට Rolls Royce – C6SFL.127C/6A වර්ගයේ නව බල සැපයුම් එන්ජිමක් සවිකර අලුත්වැඩියාවක් සිදු කර තිබේ.

වසර 2006 පමණ වන තෙක්ම පුරා වසර 70කට ආසන්න කාලයක් අඛණ්ඩව තම සේවය සැපයූ මෙම කුඩා එන්ජිම ‍මේ වන විට භාවිතය අත්හැර දමා රත්මලාන දුම්රිය අංගනය තුල ගාල්කොට තිබේ. දුම්රිය ඉතිහාසට පිලිබඳව සලකා බලන කල මෙය අනිවාර්යයෙන්ම රැකගත යුතු වටිනා සම්පතක් ලෙස සටහන් කල යුතුමය.

මෙහි සඳහන් තොරතුරු සහ ඡායාරූප ලබාදීම වෙනුවෙන් නලීන් අබේසිංහ සහ නවෝද පෙරේරා යන මහත්වරුන්ට විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.

ඡායාරූප:-

G1 හි ආරම්භක පෙනුම
නවෝද පෙරේරා විසින් Elakiri  අවඩිය වෙත ඇතුලත් කර තිබූ ඡායාරූපයකි.
G1 කාණ්ඩය
නිෂ්පාදකයාගේ සටහන
පාලන කුටිය
පසුපස පෙනුම
අවසාන යුගයේ
ඡායාරූපය :- Pamuditha Flickr Album


%d bloggers like this: