Menu Close

෴Y class Hunslet ෂන්ටින් එන්ජිම – දුම්රිය සේවයේ පුංචි වීරයා෴

පින්තූරය – Dilukshi Hasintha

    මෙවර ලිපියෙන් ඔබගේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වන්නේ ඔබගේ දෑසට නිරන්තරයෙන්ම දිස්වන නමුත් ඔබේ වැඩි අවධානයක් යොමු නොවන තවත් එක් සුවිශේෂි එන්ජින් වර්ගයක් පිලිබඳවයි. පෙනුමෙන් බොහෝ දෙනෙකුගේ සිත් ඇද නොගන්නා මෙම කුඩා එන්ජිම දුම්රිය සේවයට නම් නැතිවම බැරි අපූරු සුරතලෙක්. දුම්රිය සේවයේ භාවිතා වන අනෙකුත් එන්ජින් වලට සාපේක්ෂව ප්‍රමාණයෙන් හා බලයෙන් අඩුම තැන් ගන්නා මෙම එන්ජිම සිය දෛනිකව දුම්රිය සේවය වෙත ලබා දෙන්නා වූ සේවයනම් සුලුපටු නොවේ.

  • දුම්රිය පන්තිය                 – Y
  • ගෙන්වූ වර්ෂය                 – 1969
  • නිශ්පාදිත රට                    – එංගලන්තය (Hunslet Company)
  • දුම්රිය එන්ජින් වර්ගය        – Diesel Hydraulic
  • බල සැපයුම් එන්ජිම           – Rolls Royce DV8T
  • උපරිම බලය                    – 530hp – 1800RPM
  • උපරිම වේගය                   – 37 km/h
  • Axle Arrangement           – 0-C-0
  •  බර                                – 44.2 Tons
  • වර්ණය                         – කලු (රතු Cowcatcher Plate සහිත)
  • එන්ජිමේ දිග                      – අඩි 25
  • දුම්රිය එන්ජින් ගණන         – 28 (No 675-702)
    මෙම කුඩා එන්ජින් හැඳින්වෙන්නේ ෂන්ටින් එන්ජින් යනුවෙන්. එනම් මෙම එන්ජින් භාවිතා කරන්නේ මගී ප්‍රවාහනයට නොව ෂන්ටින් කටයුතු සඳහායි. ෂන්ටින් කටයුතු යනුවෙන් හැඳින්වෙන්නේ දුම්රිය අංගන වල (yard) ඇති දුම්රිය මැදිරි, ප්‍රවාහන ගැල්, ඉන්ධන ටැංකි ආදිය එහා මෙහා ගෙන ගොස් අවශ්‍ය දුම්රිය කට්ටලයන් එකලස් කිරීමයි. එමෙන්ම ගමන් අවසාන කල දුම්රියන් වල දුම්රිය මැදිරි ආපසු දුම්රිය අංගන වෙතගෙන ඒම ආදී කටයුතුත් ඇතැම් විට මෙම එන්ජින් මගින් සිදු කරනු ලැබේ. මොවුන්ගේ කාර්ය ලැයිස්තුව පහත ආකාරයෙන් ගොණුකොට දැක්විය හැකියි.
  • දුම්රිය අංගන වල මැදිරි ඔබමොබ ගෙන යමින් දුම්රිය කට්ටල එකලස් කිරීම
  • ගමනාරම්භ කිරිමට නියමිත දුම්රිය කට්ටලයන් දුම්රිය ස්ථානය වෙත ප්‍රවාහනය කිරීම (ප්‍රධාන එන්ජිම ප්‍රමාද වන විට හෝ එම එන්ජිම ප්‍රධාන දුම්රිය ස්ථානයේදී ලබාගතයුතු විට වෙනත් එන්ජිමක් නොමැතිනම්)
  • ගමන් අවසන් කල දුම්රිය කට්ටලයන් ආපසු දුම්රිය අංගන වෙත ගෙනයාම (ප්‍රධාන එන්ජිම වෙනත් දුම්රියක් සඳහා යොදවන විට වෙනත් එන්ජිමක් නොමැතිනම්)
  • ආපදාවන්ට ලක්වූ දුම්රිය එන්ජින් හෝ දුම්රිය කට්ටලයන් අදාල ස්ථාන වෙත රැගෙන ඒම
  • අලුත්වැඩියා කලයුතු දුම්රිය එන්ජින්, මැදිරි, ගැල් ආදිය කර්මාන්තශාලා වෙත ප්‍රවාහනය කිරීම සහ අලුත්වැඩියාවෙන් පසු ඒවා ආපසු දුම්රිය අංගන වෙත රැගෙන ඒම
  • ඉන්ධන ටැංකි ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහන ගැලි සහිත දුම්රියන් කෙටි දුරක් තුල ප්‍රවාහනය (උදා:- කොලොන්නාව සිට කොළඹ දක්වා ඉන්ධන මැදිරි රැගෙන ඒම)
  • කෙටිදුර සේවා දුම්රියන් (මාර්ග අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, උපකරණ සහ සේවකයන් ප්‍රවාහනය කරන දුම්රියන්) ප්‍රවාහනය කර දීම
  • දුම්රිය කර්මාන්ත ශාලා තුල ප්‍රවාහන කටයුතු සහ වෙනත්(උදා:- සිමෙන්ති කර්මාන්ත ශාලා – දැනට භාවිත නොවේ)
Y එන්ජින් වල රෝල්ස් රොයිස් වර්ගයේ
බලසැපයුම් එන්ජිම
ඡායාරූපය :- ප්‍රියංක රොඩ්රිගෝ

    මේ අනුව මෙම කුඩා එන්ජින් වල කාර්යභාර්ය කොතෙක්දැයි ඔබට දැන් අවබෝධ වනු ඇත. මෙවන් ඉතා විශාල වැඩ කොටසක් ඉටුකරදෙන මෙම එන්ජිමේ ඇති බල සැපයුම් එන්ජිම අශ්ව බල 530ක් තරම් ඉතා කුඩා අගයකි. නමුත් එමෙන් දෙතුන්ගුණයක් පමන බලවත් සාමාන්‍ය එන්මකින් කෙරෙන කාර්යයකට වැඩි කාර්යය ප්‍රමාණයක් මේ මගින් ඉටුකරගත හැකි වීම විශේෂත්වයකි. ආසන්නතම උදාහරණයක් ලෙස ඉන්ධන ප්‍රවාහන ටැංකි කිහිපයක් සමග දුම්රිය ඇදගැනීමට බැරිව ක්‍රියා විරහිත වන ඇතැම් දුම්රිය එන්ජින් සහිත සම්පූර්ණ කට්ටලයම මෙම Y එන්ජින් මගින් ඉතා පහසුවෙන් ඇදගෙන එන අවස්ථාවන් කොතෙකුත් තිබේ. කුහුඹුවකුට තම බර මෙන් කිහිපගුණයක බරක් එසවිය හැකි සේම දුම්රිය සේවයේ මෙම කුහුඹුවාද තම ප්‍රමාණයට වඩා වැඩි වැඩි කොටසක් මෙසේ සිදු කරනු ලැබීම සැබැවින්ම විශ්මය දනවන සුළුය.


    භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් සඳහා මෙම එන්ජින් ඇතැම්විට යොදනු ලැබුවද මේවා කිසි විටෙකත් මගී ප්‍රවාහන දුම්රියන් සඳහා යොදනු නොලැබේ. එසේ වුවත් ත්‍රස්ථවාදී ගැටුම් පැවති සමයේදී එක්තරා දුම්රිය ස්ථානයක කොටු වූ දුම්රිය සේවකයන් පිරිසක් සහ එම පවුල් වල සාමාජිකයන් රැගත් මගී මැදිරි කිහිපයක් මෙම දුම්රිය එන්ජිමක් ආධාරයෙන් ධාවනය කරවා ඔවුන් ආරක්ෂිත ස්ථානයකට රැගෙන ආ නිරිභිත දුම්රිය නිලධාරි මහතෙකු ගැන කලකට පෙර ලංකාදීප දියත අතිරේකයේ පල විය. ඒ දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ හිටපු ෆෝමන්වරයෙකු වූ එච්.ඒල්.ආර් ෆොන්සේකා මහතා ය.

Y class එන්ජින් වල ඇක්සල් පිහිටුම

    මෙම දුම්රිය එන්ජින් වලින් මැදිරි වෙත තිරිංග යෙදීමට පහසුකම් නොමැති බැවින් ආරක්ෂිත පියවරක් ලෙස මෙම එන්ජින් මගී ප්‍රවාහනයට යොදා නොගන්නා බව අනුමාන කල හැකිය. එසේම මෙහි උපරිම වේගයද පැ.කි.මී 37ක් තරම් වූ අඩු අගයකි. බොගියකට සම්බන්ධ වූ රෝද යුගල් රහිත මෙම එන්ජිමේ ඇක්සල තුනක් හරහා රෝද වලට බලය ලැබේ. බොගියක් රහිතව එම ඇක්සල එන්ජින් චැසියටම සම්බන්ධ කර තිබෙන අතර මැද ඇක්සලයට එන්ජිමෙන් ලැබෙන බලය හයිඩ්‍රොලික් ක්‍රමයට සම්බන්ධ කර ඇත. රෝද වලට පිටතින් සවිකර ඇති උපක්‍රමයක් මගින් ඇක්සල තුනටම බලය හුවමාරු වේ. එමගින් ඝර්ෂණ බලයේ උපරිම ප්‍රයෝජය ගනිමින් ධාවනය සිදු කල හැකිය.

ගිනිගත් Y-691 එන්ජිම

    වර්තමානයේදිත් මෙම එන්ජින් වලින් එකක් හැරෙන්නට අනෙක් සියල්ලම මානා ධාවන තත්වයේ පැවතීම සතුටට කරුණකි. අංක 691 දරණ එන්ජිම වර්ෂ 2001 ජනවාරී මාසයේදී ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී ගිනිගෙන විනාශ වූ අතර එන නැවත අලුත්වැඩියා කල නොහැකි බව කියවේ. මරදාන දුම්රිය අංගනය, රත්මලාන කර්මාන්ත ශාලාව සහ අනුරාධපුර, මහව, ගාල්ල සහ මහනුවර වැනි දුම්රිය ස්ථාන වලත් මෙම වර්ගයේ දුම්රිය එන්ජින් සේවා සපයනු දැකිය හැකිය.  මෙම එන්ජින් මෙරට දුම්රිය සේවයේ ඕනෑම මාර්ගයක ගමන් කිරීමට හැකිවීමද විශේෂත්වයකි.

    කෙසේ වුවද මෙම දුම්රිය එන්ජින් කඳුකර මාර්ග වල තනිව ධාවනය සිදු නොකරන අතර එවන් අවස්ථාවක සිදු කරන්නේ එම මාර්ගයේ ධාවනය කරන වෙනත් මන්දගාමී දුම්රියක් සමග හෝ විශේෂ භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් සමග ඈදා අදාල ස්ථානයට යැවීමයි. . (උදා:- මහනුවර ඇති Y පන්තියේ එන්ජිම අලුත්වැඩියාව සඳහා අවශ්‍ය විට කොළඹ ගෙන ඒමත් ආපසු ගෙනයාමත් මේ ආකාරයට සිදුවේ.) අතීතයේදී නාවලපිටිය, නානුඔය ආදී දුම්රිය අංගන සතුවද මෙම වර්ගයේ එන්ජින් භාවිතා කල බවට තහවුරු නොකල සාධක ඇත. නමුත් මේ වන විට එම ස්ථාන වල ෂන්ටින් කටයුතු සිදු කරන්නේ එදිනෙදා පැමිණෙන සාමාන්‍ය දුම්රිය එන්ජින් මගිනි.

    ශ්‍රී ලංකා දුම්රිය සේවයට අමතරව මේ වර්ගයේ දුම්රිය එන්ජින් දෙකක් පුත්තලම සහ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලා සතුවද තිබුණු අතර මේ වන විට ඒවා විනාශ වී ඇත. එම එන්ජින් දෙක දුම්රිය සේවයේ ඇති හන්ස්ලට් එන්ජින් වලට වඩා මදක් වෙනස්ය.
    දැනට දුම්රිය සේවය සතුව පවතින එකම පුලුල් ආමාන (board gauge) ෂන්ටින් එන්ජින් වර්ගය මෙය වන අතර කලකට පෙර G1, G2, Y1(දේශියව නිපදවූ), M3(දේශියව නිපදවූ) ලෙසින් තවත් දුම්රිය එන්ජින් වර්ග කිහිපයක් පැවතුනද මේ වන විට ඒවා අභාවයට ගොස් ඇත.
    මෙහි සඳහන් තොරතුරු සහ ඡායාරූප ලබාදීම වෙනුවෙන් නලීන් අබේසිංහ, තූර්ය සත්සර, අකිල ආරියප්පෙරුම, ප්‍රවීන් ඉන්ද්‍රනාම, චානක මල්ලවආරච්චි, ප්‍රියංක රොඩ්‍රිගෝ, Mike Tisdale, N. Senthilkumaran, යන මහත්වරුන්ට විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.

ඡායාරූප:-