Menu Close

෴S8 බලවේග දුම්රිය – ජපන් කොරියන් සුසංයෝගයෙන් බලගැන්වූ, මෙරට සාර්ථකම බලවේග දුම්රිය෴

        මෙරට දුම්රිය ඉතිහාසයේ ස්වර්ණමය යුගය 60-80 අතර යුගය බව ඔබ මෙහිදී කිහිප වරක් කියවන්නට ඇත. එම කාලය තුල මෙරට දුම්රිය මාර්ගයන්ට විවිධ ආකාරයේ දුම්රිය කට්ටල සහ එන්ජින් විශාල ප්‍රමාණයක් එකතුවිය. එම යුගයේ අවසාන භාගයේදි, එනම් වර්ෂ 1989 දී මෙරට දුම්රිය මාර්ගවලට තවත් ඉතා විශිෂ්ඨ දුම්රිය කට්ටල වර්ගයක් හඳුන්වා දෙන ලදී. S8 ධාවන පන්තිය යටතේ වර්ග කර ධාවනයට එක්කරන ලද මෙම දුම්රියේ තාක්ෂණික සහ ඇතැම් තොරතුරු කිහිපයක් පහත දැක්වේ.

  • දුම්රිය පන්තිය             – S8
  • ගෙන්වූ වර්ෂය                – 1989
  • නිශ්පාදිත රට – ජපානය (“HITACHI”) + කොරියාව (“HYUNDAI”)
  • දුම්රිය එන්ජින් වර්ගය   –  Diesel Hydraulic
  • බල සැපයුම් එන්ජිම –  MTU 12V396TC13
  • උපරිම බලය –  1413hp – 1800RPM
  • උපරිම වේගය –  88 kmh
  • එලැවුම් මැදිරියේ දිග      –  65 feet
  • Axel Arrangement –  B-B
  • එලැවුම් මැදිරියේ බර –  ටොන් 70
  • වර්ණය  – තැඹිලි, සුදු සහ රිදී පැහැය
  • දුම්රිය කට්ටල ගණන  –  20 (No 821-840) 


    S8 වර්ගයේ දුම්රියක එන්ජින් මැදිරිය වරායෙන් ගොඩබෑම
    ඡායාරූපය- අකිල ආරියප්පෙරුම

            ඔබට මෙම දුම්රිය නම් ඉතා හුරුපුරුදු එකක් බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම S8 දුම්රියන් මෙරටට ගෙන එන්නේ S7 දුම්රිය හඳුන්වා දී වසර 12කට පසුවය. ඒ වන විට මෙරට දුම්රිය ක්ෂේත්‍රය, “එන්ජින් ඈඳූ දුම්රියන්” සමග “බලවේග දුම්රියන්” කරට කර ධාවනයක යෙදී තිබුණු යුගයයි. බලවේග දුම්රිය බලඇණිය සවිමත් කිරීමේ අරමුණින් මෙම වර්ගයේ දුම්රිය කට්ටල 20ක් මෙරටට ගෙන්වන ලදී. මෑත ඉතිහාසයේ මෙරටට හඳුන්වාදුන් බලවේග දුම්රියන් අතුරෙන් වඩාත්ම සාර්ථක බලවේග දුම්රිය මාදිලිය වන්නේ මෙම S8 වර්ගයේ දුම්රිය මාදිලිය බව බොහෝදෙනා අවිවාදයෙන් පිලිගන්නා කරුණකි. මෙම දුම්රිය කට්ටල කරුණු ගණනාවක් නිසා සුවිශේෂ වේ. එන්ජිම සහිත එලැවුම් මැදිරියකින්, එන්ජිම රහිත එක් එලැවුම් මැදිරියකින් සහ මගී මැදිරි 3කින් එක් දුම්රිය කට්ටලයක් සමන්විත විය.

    බලසැපයුම් එන්ජිම
    ඡායාරූපය- අකිල

            S5 බලවේග දුම්රියට පසුව සම්පුර්ණ දුම්රිය කට්ටලයම විදේශිය රටක නිපදවා ආනයනය කර ඇත්තේ මෙම S8 දුම්රිය කට්ටලයන්ය. ජපන් තාක්ෂණයෙන් සැකසුනු මෙම දුම්රිය නිපදවීමට ජපාන HITACHI සමාගම සමග කොරියානු HYUNDAI සමාගමද එක් වී ඇත. (තවත් තිබුණත් විවාදයන්ට තුඩුදීමට ඉඩ ඇති බැවින් මෙහි සටහන් නොකරමි.) විශේෂයෙන් එහි ඇති සුවිශේෂි බලවත් MTU 12V396TC13 ජර්මානු බල සැපයුම් එන්ජිම නිසා එහි ඇති ත්වරණ බලය (Acceleration Power) ඉතා අධිකය. එබැවින් එය මෙරට මාර්ගයක ධාවනය වන බලවේග දුම්රියන් අතුරෙන් වැඩිම එන්ජින් බලයක් සහිත බලවේග දුම්රිය කට්ටලයද වේ. වැඩි මගීන් ප්‍රමාණයක් සහිත අවස්ථාවලදී වුවද ඉතා සුලු කාලයක් තුල ත්වරණය කර නියමිත වේගයට එලඹිමේ සුවිශේෂ හැකියාව එය සතුය.
              තවද මෙම දුම්රිය එකවර දුම්රිය කට්ටල දෙකක් හෝ වැඩිගණනක් එකට ඈඳා (Multiple Units) ධාවනය කිරීමේ හැකියාවෙන්  යුක්ත වන අතර එසේ ධාවනයේදී කට්ටල දෙකේම එන්ජින් පාලනය කරමින් ධාවනය කිරීම එක් රියදුරෙකුට එක එන්ජින් මැදිරියක් තුලදී සිදුකල හැකිය. මේවා බොහෝ විට මගී තදබදය වැඩි අවස්ථා වලදී දුම්රිය කට්ටල දෙකක් එකට ඈඳා (Double set) ධාවනය කරනු දැකිය හැකිය.

    වැඩි මගීන් ප්‍රමාණයක් ගෙනයාමට
    සකසා ඇති මැදිරි

           විශේෂයෙන් කාර්යයාලීය දුම්රිය සේවාවන් සඳහා මෙම දුම්රියන් වැඩි වශයෙන් භාවිතා කරන අතර කෙටිදුර ධාවන දුම්රියන් සඳහාද නොඅඩුව භාවිතා කරන දුම්රියකි. විශේෂයෙන් වන්දනා සමයන්හිත්, පිච්චමල් පුජාව ආදී අවස්ථා වල විශේෂ දුම්රියන් ලෙස අනුරාධපුරය දක්වා ආදී දුර ගමන් සඳහා පවා මෙම දුම්රියයන් මෑත වකවානුවේදීත් යොදවා තිබුණි. එසේම උඩරට මාර්ගයේ මහනුවර දක්වා පරීක්ෂණ ධාවනයක් සිදු කල මෙම S8 දුම්රිය කට්ටල ඊට පසුව පවා විශේෂ අවස්ථා කිහිපයකදි මහනුවර දක්වා ධාවනය කර ඇති බව කියවේ. ඒ අනුව සලකා බැලුවහොත් මෙම දුම්රියන් ධාවනය කර නොමැති මාර්ගයන් වන්නේ මාතලේ මාර්ගය, උතුරු මාර්ගයේ අනුරාධපුරයෙන් ඉහල කොටස සහ උඩරට මාර්ගයේ පේරාදෙණිය -බදුල්ල කොටස පමණි.  අනෙකුත් සියලු මාර්ගවල S8 බලවේග දුම්රියන් නිරන්තරයෙන් ධාවනය කෙරේ. 

    මැදිරි දෙකකට කප්ලිම(Coupler) හරහා වැඩි
    කෝණයකින් හැරීමට හැකියාව ඇත
    .
     

              එම මාර්ග අතුරෙන් කැලණිවැලි මාර්ගයේ ඔටුනු නොපලන් රජු ලෙස මෙම දුම්රියන් හැඳින්වීම වරදක් නැත. එයට හේතුව වන්නේ එම මාර්ගයේ ධාවනය වන දුම්රියන් වලින් 75%ක් පමණ මෙම වර්ගයේ දුම්රියන් වීමය. අනෙකුත් වර්ගවල දුම්රියන් කැලණිවැලි මාර්ගයේ ධාවනය කිරීමේදී විවිධ ගැටලු පැන නැගුනද මෙම S8 වර්ගයේ දුම්රියන් කිසිදු ගැටලුවකින් තොරව කැලණිවැලි මාර්ගයේ ගමන් කරවීමට හැකිය. එයට විශේෂ හේතුවක් ලෙස දැක්විය හැක්කේ මෙම දුම්රියේ මැදිරි දෙකක් අතර මාරු වීමේ පහසුකම නොමැති බැවින් මැදිරි දෙකකට කප්ලිම(Coupler) හරහා වැඩි කෝණයකින් හැරීමට ඇති හැකියාවයි. කැළණිවැලි මාර්ගයේ ඇති තියුණු වංගු සඳහා එය අතිශයින් ප්‍රතිඵලදායකය.


            මෙරට මාර්ග සඳහා හදුන්වා දුන් පසු පසුගිය වසර 22කට ආසන්න කාලය තුල මෙම බලවේග දුම්රියන් ධාවනය කල සම්පුර්ණ දුර සලකා බැලුවහොත් බලවේග දුම්රිය පන්ති අතුරෙන් වැඩිම ධාවන දුර ප්‍රමාණයක් සඳහා වන වාර්තාව හිමිවන්නෙ මෙම S8 දුම්රියන් සඳහාය.

    S8 ඉදිරිපස මුහුණ වරින් වර වෙනස්වූයේ මෙසේයි

            මෙරටට ගෙන ආ දුම්රිය කට්ටල 20න් අදටත් දුම්රිය කට්ටල සියල්ලම පාහේ ධාවනය වන අතර ඒවා තවමත් තම නිහඬ සේවට මගී ජනතාවට සපයයි. මෙම වසර 22ක කාලය තුල මෙම දුම්රියන් වල විශාල වෙනස්කම් සිදු වී නොමැති වුවත් විවිධ අවස්ථාවලදී එහි මුහුනතේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇත. ගෙන්වූ කාලයේ එහි තිබු ගමනාන්ත පුවරු දැක්වෙන කවුලු පසු කලෙක ඉවත් කර ඇති අතර මේ වන විට ඇතැම් දුම්රිය කට්ටල සඳහා අමතර විදුලි පහනක් ඉහල කොටසේ සවි කර ඇත. මේවායේ නියම සැකැස්මේ ඉදිරි මග දක්වන විදුලි පහන් ඇත්තේ බඳෙහි පහල කොටසේය. රාත්‍රී කාලයේදී ධාවනය කරන විට රියදුරාට දුම්රිය පාලන සංඥා පැහැදිලිව දැක ගැනීමට පහසු වන පරිදි මෙසේ අමතර විදුලි පහනක් සවි කර තිබේ. 


            එසේම කලක්, දුර ගමන් සඳහා යොදන S8 දුම්රියන් සඳහා රුමේනියානු මැදිරියක් එක්කර තිබිණි. මගින්ට සනීපාරක්ෂක පහසුකම් සැලසීම එහි අරමුණ විය. (S8 දුම්රිය වල සාමාන්‍ය මැදිරි වල වැසිකිලි ආදී සනීපාරක්ෂක පහසුකම් නොමැත.) එබැවින් එම පහසුකම් සහිත රුමේනියානු මැදිරියන් මෙම දුම්රිය කට්ටල වෙත එකතුකරන ලද අතර ඒ එම රුමේනියානු මැදිරි සඳහා වායු තිරිංග (Air Brake) උපක්‍රම යොදන ලදී. එම මැදිරි  S8 වර්ණ සංකලනයෙන් යුතුව වර්ණ ගන්වා තිබේ. 
               තම සේවා කාලය තුල මෙම S8 වර්ගයේ දුම්රියන් විවිධ උවදුරු රාශියකට මුහුණ පා තිබේ.

    •  1998 වසරේදී (2011 අලව්වේ S11 අනතුර ආකාරයටම) වේයන්ගොඩ ආසන්නයේදී (බුජ්ජොමුව) සේවා දුම්රියක් හා ගැටීමෙන් සිදුවූ අනතුරේදී  තිබූ දුම්රියක් මග නතර වී තිබූ විට පසුපසින් පැමිණි S8 දුම්රියක් එහි හැපීමෙන් S8 දුම්රියේ එන්ජිම රහිත එලැවුම් මැදිරිය (Dummy cab) විනාශ විය.
    • 1998 වසරේදීම මීරිගම ආසන්නයේදී සිදුවු පීලි පැනීමකින් මැදිරි කිහිපයක් අනෙක් මාර්ගයට පෙරලී යාම නිසා එම මොහොතේම කුරුණැගල සිට පැමිණි S8 දුම්රියක් එම එක් මැදිරියක ගැටීමෙන් එම S8 දුම්රියේ එන්ජිම රහිත එලැවුම් මැදිරියද (Dummy cab) විනාශ විය.

             එසේම රත්මලානේදීද S8 වර්ගයේ දුම්රියක් අනතුරට පත් වූ අතර දෙහිවලදී S8 දුම්රියක බෝම්බයක්ද පුපුරා ගියේය. විවිධ කාල වල සිදුවු යම් යම් දුම්රිය අනතුරු වලදී අලුත්වැඩියා කලනොහැකි තත්වයට පත්වීම නිසා එන්ජිම රහිත එලැවුම් මැදිරි සහ මගී මැදිරි කිහිපයක් වරින් වර ධාවනයෙන් ඉවත්කර තිබේ.
            මේ සියලු අනුව බලන කල S8 යනු මෙරටට ගෙන්වූ සාර්ථකම බලවේග දුම්රිය බවට කිසිදු සැකයක් නොමැත. 
    මෙහි සඳහන් තොරතුරු සහ ඡායාරූප ලබාදීම වෙනුවෙන් නලීන් අබේසිංහ, එස් ලීලාරත්න, අකිල ඉන්දීවර යන මහත්වරුන්ට විශේෂ ස්තුතිය.


    ඡායාරූප:-