Menu Close

෴S10 බලවේග දුම්රිය – ශ්‍රී ලංකාවේ දුම්රියන් අතරින් තාක්ෂණයෙන් සහ බලයෙන් උපරිම වන බලවේග දුම්රිය෴

 
        චීන S9 බලවේග දුම්රිය මෙරටට ආනයනය කොට වසර අටකට පමණ පසු තවත් බලවේග දුම්රිය කට්ටල කිහිපයක අවශ්‍යතාව සපුරාලීම සඳහා වීනයෙන් මෙම S10 පන්තියේ බලවේග දුම්රියන් ආනයනය කරන ලදී. සුවිශේෂි තාක්ෂණික අංගෝපාංග රැසකින් ජව ගැන්වෙන මෙම S10 පන්තියේ දුම්රියන් මගින් මේ වන විට මෙරට දුම්රිය මගී ප්‍රවාහන සේවයේ දෛනික මෙහෙයුම් සේවා සඳහා සැලකියයුතු දායකත්වයක් දක්වනු ලැබේ.

  • දුම්රිය එන්ජින් වර්ගය   –  Diesel Electric
  • බල සැපයුම් එන්ජිම –  MTU 12V4000R41
  • උපරිම බලය –  1950hp(1450kW) – 1800RPM
  • උපරිම වේගය –  100 km h
  • දුම්රියේ සම්පූර්ණ දිග          –  125.75m
  • Axel Arrangement –  Bo-Bo
  • එලැවුම් මැදිරියේ බර –  ටොන් 76
  • මුල් වර්ණය  –  සුදු පැහැ බඳ( නිල් පැහැ තීරුව සහිත)
  • දුම්රිය කට්ටල ගණන  –  15 (No 879-893) 
        වසර 150කට ආසන්න මෙරට දුම්රිය ඉතිහාසය තුල ගෙන්වන ලද බලවේග දුම්රියන් අතුරෙන් වැඩිම එන්ජින් බලය සහිත බලවේග දුම්රිය වන්නේ මෙම S10 පන්තියේ දුම්රියන්ය. එය ආසන්න වශයෙන් 2000hp පමණ වන අතර එම බලයෙන් 95%කටත් වැඩි අගයක් ඵලදායි බලය ලෙස දුම්රිය ධාවනයට යොදාගනු ලැබේ. මේ අධික ජවය නිසාම මෙම දුම්රිය කට්ටලයන් අධික ත්වරණයක් සහිතව ගමන් ආරම්භ කිරීමටත්,  අනෙක් බලවේග දුම්රියන්ට සාපේක්ෂව වැඩි මගීන් ප්‍රමාණයක් රැගෙන සැලකිය යුතු වේගයකින් ගමන් කිරීමේ හැකියාවත් සහිත විශිෂ්ඨතම බලවේග දුම්රියන් ලෙස නම් දරා ඇත.
        මෙම සියලු හැකියාවන් එයට ලැබී ඇත්තේ සුවිශේෂි හේතු රාශියක් නිසාවෙනි. ඉලෙක්ට්‍රොනික පාලන ක්‍රමයක් (ADEC-Advanced Diesel Engine Control) සහිත අධි පීඩන ඉන්ධන විදුම් තාක්ෂණය (Common Rail Diesel Injection)  මගින් මෙම එන්ජින් බලගැන්වෙයි. (Common Rail තාක්ෂය යනු අධිපීඩන කුටීරයක් තුල ඇති ඩීසල්, ඉලෙක්ට්‍රොනික සංඥාවක් අනුව ඉංජෙක්ටරය හරහා ඉතා කුඩා කොටස් වලට කැඩී දහන කුටීරය තුලට විදීමයි. මෙවිට ඉන්ධන පූර්ණ දහනයක් නිවැරදිව සිදුවේ. තවද යුරෝපා සංගමය විසින් 2000 වසරේදී ස්ථාපිත කරගත් පරිසර තත්ව සම්මුතින්ට අනුව මෙම එන්ජින් සැලසුම් කොට තිබේ.) එම එන්ජින් බලය මගින් බලය මගින් ප්‍රත්‍යාවර්තක ධාරා (AC) විදුලි ජනකයක් මගින් නිපදවෙන විදුලිය (k Va 150Hz) පරිවර්තක උපාංග මගින් සරල ධාරා (DC) විදුලිය බවට පත් කොට, ට්‍රැක්ෂන් මෝටර්(310kW) වලට ලබාදේ.
        මෙම දුම්රියන් වල එන්ජින් අභ්‍යන්තර පාලන කටයුතු සම්පූර්ණයෙන්ම පරිගණකයක් මගින් හසුරුවනු ලැබේ. ඒ සඳහා නවීන පරිගණක පාලන පද්ධතියක්ද මෙහි අන්තර්ගත කර ඇත. රියදුරාට එම පරිගණකය හැසිරවිමට එහි ස්පර්ශ සංවේදී තිරය භාවිතා කල හැකිය. දුම්රිය ධාවනය පාලනය කිරීම සඳහා සාමාන්‍ය ලීවර ක්‍රමයේ පාලන උපකරණ වලින් සමන්විත  මෙම දුම්රිය කට්ටල වල, අවශ්‍ය විටකදී දුම්රියේ අනෙක් පස පිහිටි රියදුරු කුටියේ රියදුරන් සමග හෝ ගාඩ්වරයා සමග සන්නිවේදනය කිරීමට රේඩියෝ සන්නිවේදන පද්ධතියක්ද අඩංගුය. මෙම එන්ජිම මෙරට මාර්ගයක ධාවනය වන දුම්රිය වලින් තාක්ෂණයෙන් අග්‍රස්ථානයේ ලා සැලකිය හැකි වන්නේ මෙවන් සුවිශේෂි ලක්ෂණ හේතුවෙනි. එසේම මෙම S10 දුම්රිය කට්ටලයන් කාර්යක්ෂමතාවයෙන් ඉහල වන්නේද ඒ නිසාමය.
        ඩිසල් බහු ඒකක කට්ටල බලවේග දුම්රියන් (Diesel Multiple units-DMU) වල ඇති සුවිශේෂි ලක්ෂනය වන බලවේග කට්ටල් කිහිපයක් එකට ඇදා ධාවනය කිරීමේ හැකියාව මෙම දුම්රිය කට්ටල වලද ඇති අතර එසේ උපරිම කට්ටල තුනක් දක්වා ඈදා ගැනිමේ පහසුකම් මෙම දුම්රිය සතුය. කෙසේ වුවද ලංකාවේදී මෙම කට්ටල් තුනක් එකට ඈඳා පරික්ෂණ ධාවනයක් සිදුකොට තිබේ.
S10 දුම්රියන් වල මැදිරි ඇතුලත ආසන පිහිටුම 
        මෙම දුම්රියද වැඩිවශයෙන් යොදාගනුයේ කාර්යාලීය ප්‍රවාහන සේවා, මන්දගාමී දුම්රියන් ආදී අවස්ථාවන් සඳහා බැවින් මෙම දුම්රියේද ආසන සැකසීම ඇත්තේ S8, S9 ආදී දුම්රියන් වල ආකාරයටමය. එක් දුම්රිය කට්ටලයක් එන්ජිම සහිත එලැවුම් මැදිරියකින්, මගී මැදිරි 4කින් සහ එන්ජිම රහිත එලැවුම මැදිරියකින් සමන්විත වේ. මගී මැදිරියක දිග අඩි 65කි. මෙ දුම්රියද මැදිරි එකිනෙක අතර ගමන් කිරීමේ (Vestibule) පහසුකමින් සමන්විත වේ. මේ එක් දුම්රිය කට්ටලයක රැගෙන යා හැකි මගීන් සංඛ්‍යාව 1400ක් පමණ වේ.
        ආනයනය කල මෙම දුම්රිය කට්ටලයක් යොදාගෙන මහනුවර දක්වා පරීක්ෂණ ධාවනයක් සිදු කර ඇතත් වර්තමානයේදී උඩරට මාර්ගයේ ධාවනය කරනුයේ රඹුක්කන දක්වා පමණි. නමුත් විශේෂ අවස්ථා වලදී (2010, 2011 ඇසළ පෙරහර) විශේෂ දුම්රියන් ලෙස මේවා මහනුවර දක්වා ගමන් කර තිබේ. ඒ අනුව මෙම දුම්රියන් සාමාන්‍යෙයන් ගමන් කරන මාර්ගයන් වන්නේ මුහුදුබඩ මාර්ගය, උතුරු මාර්ගය, පුත්තලම මාර්ගය සහ උඩරට මාර්ගයේ රඹුක්කන දක්වාය. මහව, සමුද්‍රෙද්වී ආදී කාර්යාල දුම්රියන් සඳහාද මෙම වර්ගයේ දුම්රියන් වර්තමානයේදී බෙහෝවිට යොදාගනු ලැබේ.
        මගී මැදිරි දිග අඩි 65ක් තරම් වැඩි අගයක් වීමත්, මැදිරි දෙකක් අතර පරතරය අවම වීමත් ආදී හේතු නිසා කැළණිවැලි මාර්ගයේ ගමන්කිරීමේ හැකියාවක් නැත. එමෙන්ම මාතලේ මාර්ගයේ සහ නැගෙනහිර මාර්ගයේද මෙම දුම්රියන් ධාවනය කල බවක් සටහන් වී නැත. තවද පොසොන් උත්සව සමයේදී මෙම දුම්රිය කට්ටලයන් විශේෂ දුම්රිය ලෙස අනුරාධපුර දක්වා ගමන් කර තිබේ.
        මේවායේ සාමාන්‍ය දෛනික නඩත්තු කටයුතු බලවේග විදුලි ධාවනාගාරය – EPCS (Electrical Power Coaches Shed) මගින් සිදු කරනු ලැබේ.
මෙහි සඳහන් තොරතුරු සහ ඡායාරූප ලබාදීම වෙනුවෙන් නලීන් අබේසිංහ, සොයුරාට විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.
ඡායාරූප:-