Menu Close

෴S9 බලවේග දුම්රිය – 100km/h යා හැකි, චීනයෙන් ගෙනා මුල්ම බලවේග දුම්රිය෴

        වසර 2000 දුම්රිය සේවයට වැදගත් වර්ෂයක් සේ සැලකිය හැකිය. ඉන් එක් හේතුවක් වනුයේ මෙරට දුම්රිය මාර්ගයන් සඳහා සුවිශේෂි සේවයක් සලසනු ඇතැයි සලකා ගෙන්වූ M9 එන්ජිම මෙරටට ගෙන්වූ වර්ෂය එය වීමයි. ඒ එසේ වුවද එම වසරේම මෙරටට ගෙන්වූ තවත් එක් නිෂ්පාදනයක් වැඩි ප්‍රසිද්ධියක් නොමැතිව වුවද මෙරට දුම්රිය සේවා යහපත් කිරීමෙහි ලා විශාල සේවාවක් ඉටු කරයි. ඒ S9 වර්ගයේ බලවේග කට්ටලයන්ය.

  • දුම්රිය එන්ජින් වර්ගය   –  Diesel Electric
  • බල සැපයුම් එන්ජිම –  MTU 12V396TC14
  • උපරිම බලය –  1580hp – 1800RPM
  • උපරිම වේගය –  100 kmh
  • එලැවුම් මැදිරියේ දිග       –  20.95m
  • Axel Arrangement –  Bo-Bo
  • එලැවුම් මැදිරියේ බර –  ටොන් 73
  • මුල් වර්ණය  –  නිල් පැහැ බඳ( කහ සහ රිදී පැහැ තීරු සහිත)
  • දුම්රිය කට්ටල ගණන  –  15 (No 849-863) 

        මෙම S9 බලවේග දුම්රිය මෙරට බලවේග දුම්රිය බලමුලුවට එක් වන්නේ S8 දුම්රිය සේවයට යොදවා වසර 10කට පසුවය. S9 ධාවන පන්තිය යටතේ කාණ්ඩගත කරන ලද මෙය දුම්රිය චීනයේ නිපැයුමකි. එනම් සම්පූර්ණ දුම්රිය කට්ටලයම චීනයේ නිපදවා තිබේ. එසේ චීනයේ නිපැයූ බලවේග දුම්රියක් මෙරටට ගෙන්වූ ප්‍රථම අවස්ථාවද මෙය විය. එමෙන්ම S1 බලවේග රේල් කාර් වලට පසුව ඩීසල් ඉලෙක්ට්‍රික් ක්‍රමයට ක්‍රියාත්මක වන වන බලවේග දුම්රියක් ලෙස සේවයට පැමිනෙන්නේද මෙම දුම්රියයි. (S2 – S8 සියලු දුම්රියන් වල ඩීසල් හයිඩ්‍රොලික් ක්‍රමය භාවිත වේ.)

        එක් දුම්රිය කට්ටලයක් එන්ජිම සහිත එලැවුම් මැදිරියකින්, එන්ජිම රහිත එලැවුම් මැදිරියකින් සහ මගී මැදිරි හතරකින් සමන්විත අතර ඒ අනුව එක් දුම්රියක් සඳහා මැදිරි හයකි. මැදිරියක සාමාන්‍ය දිග අඩි 65ක් පමණ වන නිසා එබැවින් විශාල මගීන් සංඛ්‍යාවක් එක වර ගෙන යාමට මෙම දුම්රියට හැකියාව තිබේ. (වසර 2000-2001 මෙම දුම්රියන් හඳුන්වා දුන් මුල් කාලයේදී  මැදිරි 7ක් යුත් දුම්රිය කට්ටලයන්ද ධාවනයේ යොදවා තිබී ඇති බවට නිල නොවන තොරතුරක් ලැබී තිබේ.) මෙම දුම්රිය කට්ටල වල දකින්නට ඇති සුවිශේෂි ලක්ෂණ වනුයේ මගීන්ට මැදිරි අතර මාරුවීමට (Vestibuled) හැකි ආකාරයට මැදිරි සම්බන්ධ කර තිබීමයි. S5 වර්ගයේ බලවේග දුම්රියන්ට පසුව මුල්වරට එම පහසුකම සැලසෙන්නේ මෙම වර්ගයේ දුම්රියන් වලය. එසේම මෙහි ආසන පිහිටා ඇත්තේ S8 දුම්රියේ ආකාරයටම නිසා තදබදයන් සහිත වේලාවන් වලදී වැඩි මගීන් පිරිසකට ගමන් කිරීමට හැකිය. 
        ඇතැම් පාලන ක්‍රියාවලි පරිගණක ගත කරන පාලන පද්ධතියකින් සමන්විත මෙම බලවේග දුම්රිය, එහි ඇති අධික බලය නිසාම කෙටි දුරක් තුල සැලකිය යුතු වේගයක් ලබාගැනීමේ හැකියාවෙන්ද සමන්විතය. මෙවැනි හේතු නිසා මෙම වර්ගයේ දුම්රියන් වැඩි වශයෙන්, කාර්යාලිය සේවා දුම්රියන් සහ මන්දගාමී දුම්රියයන් ලෙසත්, වැඩි මගී තදබදයක් සහිත අවස්ථාවන් වලදී සහ කෙටි දුර දුම්රියන් සඳහාත් ධාවනය කරවනු ලැබේ. 
          මෙම දුම්රියන් මෙරටට ගෙන්වූ පසු ඒවායේ නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර පිහිටි පැරණි ඉන්දියානු බඩු ගබඩාව (Old Indian Good Shed) නවීකරණය කර බලවේග විදුලි ධාවනාගාරය – EPCS (Electrical Power Coaches Shed) නමින් අලුත් ධාවනාගාරයක් එම ස්ථානයේ අරඹන ලදී. මෙම S9 වර්ගයේ සහ S10 වර්ගයේ දුම්රියන් වල සාමාන්‍ය නඩත්තු කටයුතු සිදුවන්නේ එම ධාවනාගාරයෙනි.
        දකුණු මාර්ගයෙත්, ප්‍රධාන මාර්ගයේ රඹුක්කන දක්වාත්, උතුරු මාර්ගයේ මහව දක්වාත් සහ පුත්තලම මාර්ගයේත් මෙම දුම්රියන් වැඩි වශයෙන් ධාවනය කරනු ලැබේ. මෙම දුම්රිය හඳුන්වා දුන් මුල් කාලයේදී කැලණිවැලි මාර්ගයේ පරීක්ෂණ ධාවනයන්  කිහිපයක් සිදුකලද ඒවා අසාර්ථක වූයේ මෙම මැදිරිවල දිග වැඩි වීම නිසා බව කියවේ. කෙසේ වුවද S8 වර්ගයේ මැදිරි වලද දිග අඩි 65 වන අතර ඒවා ගැටලුවකින් තොරව  කැළණිවැලි මාර්ගයේ ධාවනය වේ. ඒ නිසා S9 කට්ටල වල ගැටලුව විය හැක්කේ මැදිරි අතර මාරුවීමට (Vestibuled) ඇති පහසුකම නිසා මැදිරි අතර පරතරය අඩුවීම මගීන් වැඩි කෝණයකින් හැරීමට ඇති හැකියාව අවහිර වීම විය යුතුය.

        එසේම මහනුවර දක්වා පරීක්ෂණ ධාවනයක් සිදු කර ඇති අතර පෙරහැර සමයන්හිදී කිහිප වරක් විශේෂ දුම්රියන් ලෙස මේවා මහනුවර දක්වා ධාවනය කර ඇත. තවද විශේෂ දුම්රියන් ලෙස මේවා කිහිප වරක් අනුරාධපුරය දක්වාද ධාවනය කර තිබේ. මේ අනුව මෙම දුම්රියන් මාතලේ මාර්ගය සහ කැළණිවැලි මාර්ගය, ප්‍රධාන මාර්ගයේ පේරාදෙණිය – බදුල්ල අතර කොටස හැර අනෙක් මාර්ග වල ධාවනය කල හැකි බවට සැලකිය හැකිය. එසේ වුවත් මේවා නැගෙනහිර මාර්ගයේ ධාවනය කල බවට සාධක නැත.

        තවත් නිල නොවන තොරතුරකට අනුව මෙම දුම්රියේ ඇති තවත් සුවිශේෂ ලක්ෂණයක් උපාංග කිහිපයක් වෙනස් කිරීම මගින් විදුලි දුම්රියක් ලෙසට පත්කිරීමේ හැකියාවයි. මේ සඳහා මෙම දුම්රියේ ජෙනරේටර් පද්ධතිය විසන්ධිකොට ගැලපෙන ක්‍රමවේදයක් මගින් බාහිර විදුලි සැපයුමක් මගින් විදුලිය සැපයීමෙන් මේවා විදුලි දුම්රියන් ලෙස ධාවනය කල හැකි බව කියැවේ. එසේම මෙරටට ගෙන්වූ S9 වර්ගයේ බලවේග කට්ටල සියල්ලම වගේ මේ වන විටත් ධාවන තත්වයේ ඇති බව දැනගන්නට ලැබී ඇති අතර මේ අනුව මෙරටට ගෙන්වූ තවත් සාර්ථක දුම්රියක් ලෙස මෙම S9 වර්ගයේ බලවේග දුම්රියන් දැක්විය හැකිය.

මෙහි සඳහන් තොරතුරු සහ ඡායාරූප ලබාදීම වෙනුවෙන් නලීන් අබේසිංහ, අකිල ඉන්දීවර, ලහිරු කන්නන්ගර, තූර්ය ඕවිටිපාන සහ තිවංක ඒකනායක සොයුරන්ට විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.


ඡායාරූප:-